552. නදීකස්සප තෙරුන්ගේ අපදානය
6359. ලොවට දෙටු වූ, තාදී ගුණ ඇති (අටලෝ දහමින් නොසැලෙන) පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස වඩින කල්හි, මාගේ වාරය පැමිණි විට, මම උතුම් වූ අග්‍ර ඵලයක් රැගෙන ශාස්තෘන් වහන්සේට දුනිමි.
6360. ඒ කර්මයෙන් මම ලොවට දෙටු වූ, නරශ්‍රේෂ්ඨ වූ දෙවිඳු වීමි. ජය පරාජය හැර දමා නොසැලෙන (අචල) තැනට පැමිණියෙමි.
6361. මෙයින් කල්ප ලක්ෂයකට පෙර එකල්හි යම් ඵලයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ අග්‍ර දානයෙහි ඵලයයි.
6362. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ මුලින් උපුටා දමන ලදහ. ඇතෙකු මෙන් බැඳීම් සිඳ දමා ආශ්‍රව රහිතව වාසය කරමි.
6363. බුදුරජාණන් වහන්සේ සමීපයට මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
6364. සිව්පිළිසිඹියාවෝ ද, මේ අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙසේ ආයුෂ්මත් නදීකස්සප තෙරුන් වහන්සේ මේ ගාථා වදාළහ.
දෙවන නදීකස්සප තෙරුන්ගේ අපදානයයි.
553. ගයාකස්සප තෙරුන්ගේ අපදානය
6365. එකල්හි මම අඳුන් දිවි සම් හැඳ පොරවා සිටියෙමි; තාපස පිරිකර පිරවූ කද දරන්නෙක් වීමි. ඒ කද උසුලාගෙන ඩෙබර (කොල) ඵල අසපුවට ගෙනාවෙමි.
6366. එකල්හි ඒ භාග්‍යවත් ජිනයන් වහන්සේ, තනිවම දෙවැන්නෙකු නැතිව, සියලු කල්හි බබළමින් මාගේ අසපුවට වැඩි සේක.
6367. මම මාගේ සිත පහදවාගෙන, මනා වත් ඇති බුදුරදුන් වැඳ, දෑතින් ම ඔසවා බුදුරදුන්ට ඩෙබර (කොල) ඵල දුනිමි.
6368. මෙයින් එක්තිස්වන කල්පයෙහි එකල්හි යම් ඵලයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ ඩෙබර (කොල) ඵල දානයෙහි ඵලයයි.
6369. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ මුලින් උපුටා දමන ලදහ. ඇතෙකු මෙන් බැඳීම් සිඳ දමා ආශ්‍රව රහිතව වාසය කරමි.
6370. බුදුරජාණන් වහන්සේ සමීපයට මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
6371. සිව්පිළිසිඹියාවෝ ද, මේ අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙසේ ආයුෂ්මත් ගයාකස්සප තෙරුන් වහන්සේ මේ ගාථා වදාළහ.
තුන්වන ගයාකස්සප තෙරුන්ගේ අපදානයයි.
554. කිම්බිල තෙරුන්ගේ අපදානය
6372. පස් වසීන්හි පිහිටි, සියලු ගුණයෙන් සැරසුණු බ්‍රාහ්මණ වූ කකුසන්ධ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි, මම සලල මල් මාලා ගෙන (උන් වහන්සේගේ ධාතූන් උදෙසා) මණ්ඩපයක් කරවීමි.
6373. තව්තිසා දෙව්ලොවට ගිය මම උතුම් විමානයක් ලැබුවෙමි. අන් දෙවියන් ඉක්මවා බබළමි. මෙය පුණ්‍ය කර්මයේ ඵලයයි.
6374. දවාලෙහි හෝ රාත්‍රියෙහි හෝ සක්මන් කරන්නේ ද සිටින්නේ ද මම සලල මල්වලින් වැසී සිටිමි. මෙය පුණ්‍ය කර්මයේ ඵලයයි.
6375. මේ කල්පයෙහි ම යම් බුදුරජාණන් වහන්සේ නමක් පිදුවෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ බුද්ධ පූජාවෙහි ඵලයයි.
6376. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ මුලින් උපුටා දමන ලදහ. ඇතෙකු මෙන් බැඳීම් සිඳ දමා ආශ්‍රව රහිතව වාසය කරමි.
6377. බුදුරජාණන් වහන්සේ සමීපයට මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
6378. සිව්පිළිසිඹියාවෝ ද, මේ අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙසේ ආයුෂ්මත් කිම්බිල තෙරුන් වහන්සේ මේ ගාථා වදාළහ.
සිව්වන කිම්බිල තෙරුන්ගේ අපදානයයි.