551. යස තෙරුන්ගේ අපදානය
මහා සාගරයට බැස මා විසින් භවනය මනාව නිර්මාණය කරන ලදී. එහි මනාව නිර්මාණය කරන ලද විල චක්‍රවාක පක්ෂීන්ගේ හඬින් යුක්ත විය.
එය මල්පෙතිවලින් ද පියුම් හා මානෙල්වලින් ද ගැවසී ගත්තේය. එහි මනා තොටුපළවල් ඇති සිත්කළු නදියක් ද ගලා බසී.
එය මත්ස්‍යයන්ගෙන් හා ඉබ්බන්ගෙන් ගැවසී ගත්තේය. නානාප්‍රකාර පක්ෂීන්ගෙන් ආකුල විය. මොනරුන් හා කොස්ලිහිණියන්ගේ හඬින් යුක්ත විය. මිහිරි හඬ ඇති කොවුලන් ආදීන්ගෙන් යුක්ත විය.
පරෙවියන්, රවිහංසයන්, දියෙහි හැසිරෙන චක්‍රවාකයන්, දියකාවුන්, සැළලිහිණියන්, පම්පකයන් සහ ජීවංජීවකයන් ද මෙහි සිටියහ.
එහි හංසයන් හා කොස්ලිහිණියන්ගේ නාදය පවතී. බොහොමයක් බකමූණෝ ද රෑ බද්දෝ ද වෙති. සප්ත රත්නයෙන් සම්පූර්ණ විය. මැණික් හා මුතු වැලි ලෙස තිබිණි.
සියලු රුක්හු රන්මුවා වූහ. නානාප්‍රකාර සුවඳින් හමන ලදහ. සෑම කල්හිම පවත්නා භවනය දිවා රෑ දෙක්හිම බබළවති.
සැටදහසක් තූර්යවාදකයෝ උදේ සවස වාදනය කරති. සොළොස්දහසක් ස්ත්‍රීහු හැමකල්හි මා පිරිවරා සිටිති.
භවනයෙන් පිටතට පැමිණ ලෝකනායක වූ සුමෙධ බුදුරදුන් දැක, පැහැදුණු සිත් ඇත්තෙමි, සුමන වූයේ මහත් යසස් ඇති උන්වහන්සේට වැන්දෙමි.
සම්බුදුරදුන් වැඳ, සඟ පිරිස සහිත වූ උන්වහන්සේට ඇරයුම් කළෙමි. ධීර වූ ලෝකනායක වූ ඒ සුමෙධ බුදුරජාණන් වහන්සේ එය ඉවසා වදාළ සේක.
මාහට ධර්ම කථාව කොට මහාමුනි තෙමේ පිටත්ව ගියේය. සම්බුදුරදුන් වැඳ මම මාගේ භවනයට පැමිණියෙමි.
එකල්හි සියල්ලන් රැස්වන්නට යැයි පිරිවර ජනයා ඇමතුවෙමි. පෙරබත් කාලයෙහි බුදුරජාණන් වහන්සේ භවනයට වැඩම කරන සේක.
අපට මනා ලාභයක් ලැබුණි, යම් කෙනෙක් ඔබ සමීපයෙහි වසමු ද, අපි ද බුදුරජාණන් වහන්සේට පූජා කරන්නෙමු.
අන්න පාන සකස් කොට මම කාලය දැන්වූයෙමි. ලෝකනායකයන් වහන්සේ ලක්ෂයක් රහතුන් වහන්සේලා සමඟ එළඹි සේක.
පංච තූර්ය නාදයෙන් යුක්තව මම පෙරගමන් කළෙමි. පුරුෂෝත්තමයන් වහන්සේ සියල්ල රන්මුවා වූ ආසනයෙහි වැඩහුන් සේක.
එකල්හි උඩ වියන ද සියල්ල රන්මුවා විය. අනුත්තර වූ භික්ෂු සංඝයාට පවන්පත්වලින් පවන් සලති.
මම පහ වූ අන්නපානයෙන් භික්ෂු සංඝයා සන්තර්පණය කළෙමි. භික්ෂු සංඝයාට වෙන් වෙන් වශයෙන් වස්ත්‍ර යුගල බැගින් දුනිමි.
යමෙක් සුමෙධ යැයි කියනු ලැබේ ද, පූජාවන් පිළිගැනීමට සුදුසු වූ ඒ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළ සේක:
“යමෙක් මට ද මේ සියලු සංඝයාට ද අන්නපානයෙන් පිනවී ද, මම ඔහු පසසන්නෙමි. මා පවසන කල්හි අසව්.
දහඅටසියයක් කල්පයන්හි දෙව්ලොවෙහි රමණය කරනු ඇත. දහස් වාරයක් සක්විති රජ වන්නේය.
දේවත්වයට හෝ මිනිස් බවට හෝ යම් යෝනියකට පැමිණෙයි ද, එහිදී සියල්ල රන්මුවා වූ වියනක් ඔහුට දරනු ඇත.
මෙයින් කල්ප තිස්දහසකට මත්තෙහි ඔක්කාක කුලයෙහි උපන් ගෞතම නම් වූ ශාස්තෘන් වහන්සේ ලොව පහළ වන්නාහ.
ඔහු උන්වහන්සේගේ ධර්මයෙහි ළයෙහි උපන් ධර්මයෙන් නිර්මිත වූ දායාදෙයෙක් වී, සියලු ආශ්‍රවයන් පිරිසිඳ දැන ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.
භික්ෂු සංඝයා මැද හිඳ සිංහනාද කරනු ඇත. දර සෑයෙහි ඡත්‍රයක් දරති. ඡත්‍රයට යටින් දැවෙන්නාහ.”
මා විසින් ශ්‍රමණ භාවයට පැමිණෙන ලදී. කෙලෙස් දවන ලදී. මණ්ඩපයෙහි හෝ රුක්මුලක හෝ මට තැතිගැනීමක් නැත.
කල්ප තිස්දහසකට පෙර යම් දානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ සර්ව දානයෙහි ඵලයයි.
මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ මුලිනුපුටා දමන ලදහ. ඇතුකු මෙන් බැඳීම් සිඳ දමා ආශ්‍රව රහිතව වාසය කරමි.
බුදුරජාණන් වහන්සේ සමීපයට මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව්පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙසේ ආයුෂ්මත් යස තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පළමුවන යස තෙරුන්ගේ අපදානයයි.