546. කාළුදායි ථේරාපදානය
6187. “මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලෝකනායකවූ, සියළු ධර්මයන්හි (විනිවිද දක්නාසුළු) නුවණැස් ඇති, පදුමුත්තර බුදුරජතෙම ලොව පහළවිය.
6188. “නායකයන් අතුරෙහි උතුම්වූ ගුණ අගුණ දැය මේ මේයයි දන්නාවූ, (දෙවි මිනිසුන්හට) ශාස්තෘවූ, කෙළෙහිගුණ නැවත, නැවත සිහිකරන්නාවූ බුදුරජතෙම සත්ත්‍වයන් තීර්ත්‍ථයෙහි හෙවත් නිවන් මගෙහි යොදයි.
6189. “අනන්ත ගුණ රාශියක් බඳුවූ, දයාවට වාසස්ථානවූ (එම සර්‍වඥතෙම) සියල්ල දන්නා නුවණින් (තරාදියකින් කිරිමක් මෙන් සත්ත්‍වයන්ගේ ආසයානුසය චරිතාධිමුක්තීන්) විමසා බලා උතුම්වූ ධර්‍මය දෙසති.
6190. “ඒ මහාවීරවූ බුදුරජතෙම කිසිකලෙක්හි අනන්ත ජනයාගෙන් යුත් සබ මැදදී සිව්සස් දහම් සහිතවූ මිහිරි ධර්‍මය දේශනා කරති.
6191. “ආදි, මධ්‍ය, පරියොසාන කල්‍යාණවූ ඒ උතුම් ධර්‍මය අසා සියක් දහසක් (ලක්‍ෂයක්) ප්‍රාණීන්හට ධර්‍මාවබෝධය විය.
6192. “එකල්හි පෘථිවි තොමෝ මහත් නාද පැවැත්වූවාය. මේඝයෝ ගර්‍ජනය කළාහුය. දෙව්-බඹ-මිනිස්-අසුර යන මොවුහු සාධුකාර පැවැත්වුහ.
6193. “කාරුණීකවූ ශාස්තෘතෙමේ ආශ්ර්‍ච්‍යයකි. සදහම් දෙසුමද ආශ්චර්‍ය්‍යයකි. සර්‍වඥතෙම භවසයුරෙහි ගිලුනුවුන් ගොඩ නැගූහ. ආශ්චර්‍ය්‍යයකි.
6194. “මෙසේ විශ්මයෙන් ඇලලීගිය, දෙව් බඹුන් ඇති කල්හි බුදුරජතෙම කුල පහදවන්නවුන් අතුරෙන් අග්‍රයයි ශ්‍රාවකයෙකු වර්‍ණනා කළ සේක.
6195. “එකල්හි මම හංසවතී නගරයෙහි ඇමති කුලයෙක උපන්නේ, දුටුවන් පහදවන්නාවූ, දැකුම්කළුවූ, සමෘද්ධවූ ධන ධාන්‍ය ඇති කෙනෙක් විමි.
6196. “මම හංසාරාමයට එළඹ එම බුදුරජුන්හට වැඳ, මිහිරි දහම් අසා, තාදී ගුණ ඇති එම බුදුරජුන්හට සත්කාරකොට,
6197. මම (උන්වහන්සේගේ) පාමුල වැඳ වැටී මේ වචනය කීමි: “මුනීන්ද්‍රයන් වහන්ස, ඔබ වහන්සේ විසින් කුල පහදවන්නන් අතුරෙන් අග්‍රයයි යම් ශ්‍රාවකයෙක් පසසන ලද ද,
6198. වීරයන් වහන්ස, මම ද ශ්‍රේෂ්ඨ වූ බුදුවරයෙකුගේ සසුනෙහි එබඳු (කුලප්පසාදක භික්ෂූන් අතුරෙන් අග්‍ර වූ) ශ්‍රාවකයෙක් වෙම්වා” යි කීමි. එකල්හි මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ මට අමා ඉසින්නාක් මෙන්-
6199. “පුතණුවෙනි, නැගිටිනු මැනව, එම මනදොළ (සපුරා) ලබන්නෙහිය. බුදුවරයෙකු කෙරෙහි සත්කාරයක් කොට කෙසේ නම් නිෂ්ඵල වන්නේදැ” යි මට වදාළ සේක.
6200. “මින් මතු තිස් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේය.
6201. “උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ ඖරස (බුද්ධ) පුත්‍රවූ නම්න් උදායි නම්වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය” යි (වදාළසේක.)
6202. “එකල්හි එය අසා සතුටුවූයේව මෙත් සිත් ඇත්තේ විශිෂ්ඨ නායකවූ බුදුරජුන්හට (සිව්) පසයෙන් පරිවරණය (සේවය) කෙළෙමි.
6203. “එම කර්‍ම විපාකය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
6204. “දැන් මේ අන්තිම භවයෙහි රම්‍යවූ කපිලවස්තු නගරයෙහි සුද්ධොදන මිහිපතිහුගේ මහ ඇමති කුලයෙහි උපන්නේ,
6205. “යම් කලෙක්හි නරශ්‍රේෂ්ඨවූ සිද්ධාර්ත්‍ථ බෝසත් තෙමේ සව්ලොවට හිත පිණිසද, සුව පිණිසද ලුම්බිණි සල් උයනෙහිදී (මව් කුසින්) බිහිවීද,