547. අභය ථේරාපදානය
195. “මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලෝකනායකවූ, සියළු ධර්මයන්හි (විනිවිද දක්නාසුළු) නුවණැස් ඇති පදුමුත්තර බුදුරජතෙම ලොව පහළවිය.
196. “(එම) තථාගතතෙම කිසිවෙකු සරණාගමනයෙහි පිහිටුවති. කිසිවෙකු ශීලයෙහිද, උතුම්වූ දශ (කුශල) කර්ම පථයෙහිද පිහිටුවති.
197. “ඒ බුද්ධවීරතෙමේ කිසිවෙකුට උතුම්වූ (සෝවාන් ආදිවූ සතර) ශ්රාමාණ්යඵලය හෙවත් ශ්‍රමණ බැව්හි උසස් ප්‍රතිඵල දෙයි. එසේම ත්‍රිවිද්‍යාවන්ද, අෂ්ඨසමාපත්තීන්ද දෙයි.
198. “නරෝත්තමවූ (එම) බුදුරජතෙම කිසියම් සත්ත්ව කෙනෙක් ෂඩ් අභිඥාවන්හි යොදවයි. ඒ (පිහිටක් නොමැති) අනාථයනට (පිහිටවන බැවින්) නාථවූ තථාගතතෙම කිසිවෙකුට සිව් පිළිසිඹියාවන් දෙයි.
199. “(දමනය කළයුතු පුරුෂයන් හික්මවන බැවින්) නරසාරථීවූ බුදුරජතෙම යොදුන් අංසඛ්යයක් දුර තන්හි සිටියාවූද, ධර්මාවබෝධයට සුදුසු සත්ත්ව සමූහයා දැක මොහොතකින් (එහි) එළඹ (ඔවුන්) හික්මවති.
200. “එකල්හි මම හංසවතී නගරයෙහි සියළු වේදයන්ගේ පරතෙරට ගියාවූ, ව්‍යාකරණ සංඛ්‍යාත ශබ්ද ශාස්ත්‍රයෙහි විශාරදයෙකැයි සම්මතවූ බ්‍රාහ්මණ පුත්‍රයෙක් වීමි.
201. “(ශබ්දාර්ත්ථයන් නිවැරැදි ලෙස තැනුමට උගන්වන) නිරුක්ති ශාස්ත්‍රයෙහි දක්ෂවූ, (ශබ්දාභිදානයන් දැනගැනුමට උගන්වන) නිඝණ්ටු ශාස්ත්‍රයෙහි විශාරදවූ, (ව්යාකරණයෙහිම ආදීම අවස්ථාව ලෙස සැලකෙන නාවාදී) පදයන් දන්නාවූ, (කාව්‍යකරණයේදී කවීන්හට උපකාරවන අලඞ්කාරාදිය ඇතුළත් ක්‍රියා කල්ප විකල්පයැයි කියන ලද) කෙටුහ ශාස්ත්‍රයද දන්නාවූ, (අක්ෂරයන්ගේ නියමය දැක්වෙන ඡන්දස් වෙන්කොට දැනගැනීමට උගන්වන) ඡන්දො විචිති වෙදාඞ්ගයෙහිද දක්ෂවූයෙමි.
202. “මම ජඞ්ගාවිහාරයෙහි යෙදෙමින් හෙවත් ශරීර සනීපය උදෙසා ඇවිදිමින් හංසාරාමයට එළඹ කථාකරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, මහාජනයා විසින් පිරිවරන ලද බුදුරජුන් දුටිමි.
203. “(එම) නිර්මලවූ ධර්මය දේශනා කරන්නාවූ බුදුරජුන් වෙත (එයට) විරුද්ධ අදහස් ඇති මම (සමීපයට) එළඹ උන්වහන්සේගේ නිර්මලවූ වචනය අසා,
204. “වැරදි ලෙස යොදන ලද්දාවූ හෝ, නැවත නැවත කියන ලද්දාවූ හෝ, විරුද්ධ අදහස් ඇත්තාවූ හෝ, නිරර්ත්ථකවූ හෝ, එම බුදුරජුන්ගේ (වචනයක්) මම නොදුටිමි. එහෙයින් මම පැවිදිවූයේ වෙමි.
205. “නොබෝ කලකින්ම සියළු ශාස්ත්‍රයන්හි විශාරදවූයේ, බුද්ධ වචනයෙහි දක්ෂවූයේ, ගණයා පරිහරණයට සුදුසුයැයි සම්මතවූයේ හෙවත් ස්ථිරවූයේ වීමි.
206. “එකල්හි මම බුදුරජුන්හට පසසන්නාවූ, (අක්ෂර) ව්‍යඤ්ජන ඇති, ගාථා හතරක් ගොතා දිනපතා කියන්නෙමි. (කෙසේද යත්?)
207. “මහාවීරයන් වහන්ස, (ඔබ) භය සහිතවූ සසරෙහි වසමින් (ඉන්) වෙන්වූයේ වෙහිය. (සත්ත්වයා කෙරෙහි පතළාවූ) කරුණාව කරණකොටගෙන පිරිනිවන් නොපෑය. එහෙයින්ම බුදුරජතෙම කාරුණිකය.
208. “යමෙක් පෘථග්ජනවූයේම ක්ලේශ වසඟ නොවූයේද, යමෙක් ප්‍රඥාවෙන් හා ස්මෘතියෙන් යුක්තවේද, එහෙයින් මෙතෙම නොසිතිය හැකි ගුණ ඇත්තේය.