543. සීවලිත්ථෙරාපදානං
“මින් පෙර සියක් දහස්වන කපෙහි හෙවත් කල්ප ලක්ෂයකට පෙර ලෝකනායකවූ, සියළු ධර්මයන්හි විනිවිද දක්නා සුළු නුවණැස් ඇති පදුමුත්තර බුදුරජතෙම ලොව පහළවූහ.
“උන්වහන්සේගේ ශීලය මෙතෙකැයි ගණන් වශයෙන් ගිණිය නොහැකිය. සමාධිය වජ්රයක් මෙනි. උතුම්වු ඥානයද මෙතෙකැයි පමණ කළ නොහැකිය. විමුක්තියද මෙබඳුයයි උපමාවක් කළ නොහැකිය.
“එම ලෝක නායකවූ බුදුරජතෙම මහණ බමුණන්ගෙන් ගැවසීගත් මිනිස්, දෙව් හා බඹ යන මොවුන්ගේ සමාගමයෙහි දහම් දෙසූහ.
“සිව් පිරිස්හි විශාරදවූ බුදුරජ තෙමේ ආලෝකවත්වූ, පින්වත්වූ, මහත් ලාභ ලබන්නාවූ සිය සව්වෙකු එතදග්රස්ථානයෙහි තැබූහ.
“එකල්හි මම හංසවතී නගරයෙහි රජෙක් විමි. එකී ශ්රාවකයාගේ බොහෝ ගුණ පවසන බුදුරජුන්ගේ එම වචනය අසා
“ශ්රාවකයන් සහිත බුදුරජුන් පවරා සතියක් වළඳවා, මහදන්දී එම තනතුර පැතීමි.
“එකල්හි පුරුෂ ශ්රේෂ්ඨවූ, මහා වීරවු, බුදුරජතෙම වැඳගෙන පාමුල නැමුනාවූ මා දැක මිහිරි ස්වරයෙන් මෙම වචනය වදාළ සේක.
“ඉක්බිති බුදුරජුන්ගේ වචනය අසනු කැමති මහාජනයාද, දිව්ය සුරගාන්ධර්වයෝද, මහත් ඎද්ධි ඇති බ්රහ්මයෝද,
“මහණ බමුණෝද කරන ලද ඇඳිලි ඇත්තාහු, “පුරුෂ ශ්රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා” යි කිමින් වැන්දාහුය.
“වැඳ ඔබ වහන්සේට සතියක් මුළුල්ලෙහි මෙම රජතුමන් විසින් මහා දානයක් දෙන ලද මහාමුනීන් වහන්ස, අපි ඔහුගේ එම කර්ම විපාකය කෙසේදැයි අසනු කැමැත්තෝ වෙමු. පවසනු මැනවැ යි කිහ.
“ඉක්බිති භාග්යවත් තෙමේ මෙසේ වදාළ සේක. “මාගේ වචනය අසව්. දක්ෂිණා තොමෝ අපමණවූ ගුණ ඇති බුදුරජුන් කෙරෙහිද, සඞ්ඝයා කෙරෙහිද, මැනවින් පිහිටියාය.
“එම දක්ෂිණාවගේ විපාකය පවසන්නේ කවරෙක්ද, ඕතොමෝ අප්රමෙය්යවූ විපාක ඇත්තීය. එතකුදුවූවත් මේ මහාභාග්ය ඇති රජතෙමේ උතුම් තනතුරක් පතයි.
“මහත් ලාභ ඇතියවුන් අතුරෙන් ශ්රේෂ්ඨ ලාභියාවූ සුදර්ශන භික්ෂුතෙම යම්සේද, මමද එසේම වෙම්වා,” යනු ඔහුගේ පැතුමයි. මතු කාලයෙහි මෙම තනතුර හෙතෙම ලබන්නේය.
“මින් මතු සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේය.
“උන්වහන්සේගේ ධර්මයෙහි දායාදීවූ ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස බුද්ධපුත්රවූ නම්න් සීවලී නම් ශාස්තෘ ශ්රාවකයෙක් වන්නේය.
“මැනවින් කරන ලද එම කර්මය කරණකොටගෙනද, චිත්තප්රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් එළඹියේ වෙමි.
“මින් පෙර එක් අනූවන කපෙහි මනොඥ ඇස් ඇති, සියළු දතයුතු ධර්මයන් වෙසෙසින් දක්නා සුළුවූ, ලෝකනායකවූ, විපස්සී බුදුරජතෙමේ ලොව පහළවූහ.
“එකල්හි මම බන්ධුමතී නගරයෙහි එක්තරා කුලයෙක නෑයන් විසින් කරන ලද දයාව ඇත්තාවූ, දෙමාපියන් විසින් ප්රාර්ත්ථනාකොට ලබන ලද්දාවූ, කර්මාන්තයන්හි යෙදුනාවූ පුතෙක් වීමි.
“එකල්හි එක්තරා උපාසක සමූහයෙක් තෙම විපස්සී බුදුරජුන්හට මහත්වූ ඉතා ප්රකටවූ පිරිවෙණක් කරවීය.
“පිරිවෙණ නිමි කල්හිද, ඛාද්යවර්ගයන්ගෙන් යුක්තවූ මහා දානයක් දෙන්නේ මෙහි කුමක් නැද්දැයි සොයන්නේ, අළුත් දී හා කැටි මීද නොදුටුවෙමි.
“එකල්හි මම ඒ අළුත් දී හා කැටි මීද ගෙන කර්මාන්ත ස්වාමියාගේ ගෙට ගියෙමි. ඒ අළුත් දී හා කැටි මී සොයන්නෝ මා දුටුවාහුය.