544. වඞ්ගීස ථේරාපදානය
“මින් (පෙර) දහස්වන කපෙහි හෙවත් කල්ප ගක්ෂයකට පෙර, ලොකනායකවූ පදුමුත්තර නම් බුදුරජතෙම උපන්නේය. උන්වහන්සේ සියලු ධර්මයන්හි ඇස ඇත්තාහ (නුවණැත්තාහ).
“සයුරේ රළ යම්සේ (විසිතුරුද), අහසෙහි තරු යම්සේ (විසිතුරුද), එසේ උන්වහන්සේගේ සසුන රහතුන්ගෙන් විසිතුරු විය.
“ඒ ජනෝත්තමවූ බුදුරජතෙම දිව්ය, අසුර, නාග යන මොවුන් විසින් පිරිවරන ලදුයේ, බමුණන්ගෙන් ගැවසීගත් ජනයා මැද (වැඩසිටියේය).
“(භවෝත්පත්තිය දුරුකිරීමෙන්) ලෝකයාගේ කෙළවරට ගිය ඒ බුද්ධ දිවාකර තෙම ප්රභාවෙන් ලෝකයා රඳවමින් විනෙය්ය ජන නමැති පියුම් වචනයෙන් (හෙවත් වචන රැසින්) පොබයමින්,
“චතුර්වෛශාරද්යයන්ගෙන් යුක්තවූ දුරුකරනලද බිය හා ඇළුම් ඇති (ක්ෂෙමයයි කියන ලද) නිවනට පැමිණියාවූ විශාරදවූ, පුරුෂෝත්තමවූ,
“ලෝකනායකවූ බුදුරජතෙම හුදෙක් ශ්රේෂ්ඨවූ, උතුම්වූ තනතුර වන බුද්ධ භූමිය (හෙවත් බුද්ධත්වය තමා තුළ ඇතැයි) විරුද්ධව එන්නවුන් ඉදිරියෙහි දන්වයි. (එහෙත් උන්වහන්සේ හමුවෙහි ඔබට එබඳු බුද්ධත්වයක් නැතැයි චෝදනා කරන) කිසියම් චෝදකයෙක් නැත.
“(මෙසේ) අභීත සිංහනාදය කරන, තාදී ගුණ ඇති උන්වහන්සේට විරුද්ධව කියන දෙවියෙක්, මිනිසෙක් හෝ බඹෙක් හෝ නැත.
“උතුම් දහම් දෙසමින්, දෙවියන් සහිත ලෝකයා (සසර සයුරින්) එතර තරමින් පිරිස් මැද විශාරදව දම්සක් පවත්වයි.
“වැටහීම් ඇති භික්ෂූන් අතුරෙන් අග්රවූ මැනවැයි සම්මතවූ ශ්රාවකයෙකු (දැක) බොහෝ ගුණ පවසා හේ එතදග්රස්ථානයෙහි තැබූහ.
“එකල්හි මම හංසවතී නගරයෙහි උපන්නේ, මැනවැයි සම්මතවූ සියළු වේදයන් දන්නාවූ, වාදීන්ට අධිපතිවූ, වාදීන් මැඩපවත්වන්නාවූ බමුණෙක් වූයේ,
“ඒ මහාවීරවූ බුදුරජුන් වෙත එළඹ එකී දම් දෙසුම අසා (ප්රතිභාණවත්) ශ්රාවකයාගේ ගුණයෙහි ඇළුනේ උතුම්වූ ප්රීතිය ලැබීමි.
“එකල්හි මම සංඝයා ලෝකයා තුටු කරන්නාවූ බුදුරජුන් පවරා සතියක් වළඳවා වස්ත්රයන්ගෙන් හැඳවීමි.
“හිසින් පාමුල වැටී (වැඳ) ලබන ලද අවකාශ ඇත්තේ, බඳින ලද ඇඳිලි ඇත්තේ, සතුටුවූයේ, එකත්පසෙන් සිටියේ, උතුම්වූ බුදුරජුන්හට ස්තූති කෙළෙමි.
“වාදී (මෘගය)නට කොටියෙකු වැනිවූ උත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. මුළු ලොවට අග්රවූ උතුමාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා, අභය (දානය) කරන්නාවූ උත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා.
“මාර බල මර්දනය කරන්නවුන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. (දෙසැට) මිසදිටු මඩිනවුන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ශාන්ති සුඛ දායකයාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. සත් ලොවට පිහිට (සිදු) කරන උතුමාණනි, ඔබ වහන්සේට නමස්කාර වේවා.
“පින්වත් තෙමේ අනාථවූවනට පිහිටය. බියවූවනට අභය දෙන්නේය. ඝ්රාන්ත (විඩා) වූවනට විඩා හරනා බිමෙක. සරණ සොයනවුනට පිළිසරණෙක.