538. උරුවෙලකස්සපත්ථෙරාපදානං
251. “පසැස් ඇත්තාවූ, සියළු ලෝකයන් (තත්වූ පරිදි) දැනගත්තාවූ, පස්මරුන් ජයගත්තාවූ, පදුමුත්තර නම බුදුරජතෙමේ මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලොව පහළවීය.
252. “සව්සත්හට ඔවා දෙන්නාවූ, දහම් අවබෝධ කරවන්නාවූ, (සත්ත්‍වයන්) සසරින් එතර කරන්නාවූ, දේශනාවෙහි දක්‍ෂවූ බුදුරජතෙම බොහෝ ජන සමූහයා සසරින් එතර කරවීය.
253. “සව්සත්නට අනුකම්පා කරන්නාවූ, කාරුණීකවූ, හිත කැමැත්තාවූ එම බුදුරජතෙම, පැමිණි සියළු තීර්ත්‍ථකයන් පන්සිල්හි පිහිටවූහ.
254. “මෙසේ (එම කාලය) තීර්ත්‍ථකයන්ගෙන් හිස්වූ, නිරවුල්වූ, තාදී ගුණ ඇති, (පඤචවශිතාවන්ගෙන්) වශීභූතවූ රහතුන්ගෙන් විසිතුරුවූවක් විය.
255. “එම බුදුරජතෙම අටපණස් රියනක් උසය. රන් ඇගෑවක් මෙන් බබලන්නේය. දෙතිස් මහා පුරිස් ලකුණු ඇත්තේය.
256. “එකල්හි වර්‍ෂ ලක්‍ෂයක් ආයුෂ වෙයි. ඒතාක් කල් වැඩහුන්නාවූ මේ සර්‍වඥතෙම බොහෝ ජන සමූහයා (සසරින්) එතර කළහ.
257. “එකල්හි මම හංසවතී නගරයෙහි යහපත්යයි සම්මත බ්‍රාහ්මණයෙක් වූයේ, බුදුරජුන් වෙත එළඹ දහම් දෙසුම් ඇසීමි.
258. “එකල්හි මම (මහ පිරිස් ඇතියනට අග්‍රයයි) එතදග්‍රස්ථානයෙහි තබන්නාවූ, මහ පිරිස් ඇති බුද්‍ධ ශ්‍රාවකයෙකු දැක සතුටුවූයේ,
259. “බමුණන් දහසක් සහිතවූ මම මහ පිරිවරින් බුදුරජුන් පවරා දනක් දුනිමි.
260. “මහ දන්දී, බුදුරජුන් වැඳ සතුටුවූයේ, එකත් පසෙක සිටියේ මෙම වචනය කීමි.
261. “වීරයන් වහන්ස, මා විසින් ඔබවහන්සේ කෙරෙහි සැදැහැයෙන් (කරන ලද) (පූජා සත්කාර නමැති) අධිකාර ගුණයන් කරණකොටගෙන ඒ ඒ තන්හි උපදින්නාවූ මට මහත්වූ පිරිස (ඇති) වේවා.
262. “එකල්හි මේඝ ගර්ජනයකට බඳු මනාවූ (ගම්භීර) ස්වර ඇති, කුරවි කෙවිල් හඬකට බඳු (ස්වකීය) ස්වර ඇති ශාස්තෘ තෙමේ පිරිසට (අමතා) මෙසේ කීහ. “මේ බමුණා (දෙස) බලව්.
263. “(ඔහු) ස්වර්‍ණ වර්‍ණවූ මහා බාහු ඇති, පියුමකට බඳුවූ මුහුණු හා ඇස් ඇති, ඌධවාග්‍රවූ රෝම ඇති, ප්‍රීතිමත්වූ, මාගේ ගුණයෙහි සැදැහැවත්වූ (කෙනෙකි).
264. “මේ තෙමේ සීහඝොෂ භික්‍ෂුවගේ තනතුර ප්‍රාර්ත්‍ථනා කරයි. අනාගත කාලයෙහි ඒ අදහස ඉටුවන්නේය.
265. “මින් සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපන්නාවූ, ගොත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේය.
266. “උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්‍ධ) පුත්‍රවූ, නම්න් කස්සප නම්වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් තෙම වන්නේය” (කියායි.)
267. “මින් පෙර දෙයානූවන කපෙහි ලෝකයෙහි ශ්‍රේෂ්ඨ නායකයාණන්වූ, (මෙබඳුයයි) කීමට උපමාවක් නැත්තාවූ, සමානයයි දැක්වීමට කෙනෙක් නැත්තාවූ ඵුස්ස බුදුරජතෙම ලොව පහළවිය.
268. “ඒ බුදුරජතෙමේද සියළු (මෝහ) අඳුරු නසා, ලෝකයෙහි ඇති මහත්වූ (තෘෂ්ණා) අවුල නිරවුල්කොට, දෙවියන් සහිත ලෝකයා පිණවමින් අමා වැසි වස්වයි.
269. “එකල්හි අපි බරණැස් නුවර රාජ පුත්‍රයෝ වීමු. එසේම අපි (ඔවුනොවුනට) සොහොයුරුවූ තිදෙනෙක් වීමු. සියළු දෙන රජුගේ විශ්වාසයෝද වීමු.