539. රාධ ථේරාපදානය
296. “පසැස් ඇත්තාවූ, සියළු ලෝකයන් (තත්වූ පරිදි) දැනගන්නාවූ, පස්මරුන් ජයගත්තාවූ පදුමුත්තර නම් බුදුරජතෙමේ මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලොව පහළවූහ.
297. “සව් සත්හට ඔවා දෙන්නාවූ, දහම් පිළිවිදුවන්නාවූ, (සත්ත්වයන්) සසරින් එතර කරන්නාවූ, දේශනාවෙහි දක්ෂවූ, බුදුරජතෙමේ බොහෝ ජන සමූහයා සසරින් එතර කරවූහ.
298. “සව් සත්හට අනුකම්පා කරන්නාවූ, කාරුණීකවූ, හිත කැමැත්තාවූ, (එම බුදුරජතෙම) පැමිණි සියළු තීර්ත්ථකයන් පන්සිල්හි පිහිටුවූහ.
299. “මෙසේ (එම කාලය) තීර්ත්ථකයන්ගෙන් හිස්වූ, නිරවුල්වූ, තාදී ගුණ ඇති, (පඤ්ච වශිතාවන්ගෙන්) වශීභූතවූ, රහතුන්ගෙන් විසිතුරුවූවාක් විය.
300. “එම බුදුරජතෙම අටපණස් රියනක් උසය. රන් ඇගෑවක් මෙන් බබලන්නේය. දෙතිස් මහා පුරිස් ලකුණු ඇත්තේය.
301. “එකල්හි වර්ෂ ලක්ෂයක් ආයුෂ වෙයි. ඒතාක් කල් වැඩහුන්නාවූ මෙම සර්වඥතෙමෙ බොහෝ ජන සමූහයා සසරින් එතර කළ සේක
302. “එකල්හි මම හංසවතී නගරයෙහි (වේද) මන්ත්රයන්හි තෙරපත් බමුණෙක් වූයේ, එම බුදුරජුන් වෙත එළඹ දහම් ඇසීය.
303. “මහත් වීර්ය්ය ඇති, පිරිස්හි විශාරදවූ, විශිෂ්ඨ නායකත්වය ඇති, (පටිභාණෙය්යක භික්ෂූන් අතුරෙන් මෙම භික්ෂුව අග්රයයි) එතදග්රස්ථානයෙහි තබන්නාවූ පටිභාණෙය්යක වැටහීම ඇති භික්ෂුවක් දැක,
304. “එකල්හි මම සංඝයා සහිත ලෝක නායකයන් වහන්සේ කෙරෙහි අධිකාරකම් කොට සිරසින් පාමුල වැටී හෙවත්, හිස පාමුල තබා එම තනතුර පැතීමි.
305. “ඉක්බිති දිව්ය ස්වර්ණයනට වඩා ශ්රේෂ්ඨ, සිංගී නම් ස්වර්ණ නිෂ්කයක (කලන් විස්ස හෝ විසිපහ නිෂ්කයයි.) පැහැයට බඳු පැහැ ඇති භාග්යවත් තෙමේ, කෙළෙස් මල හරනාවූ (සිත්) රැඳවිය යුතු (මිහිරි) ස්වරයෙන්,
306. “සුවපත් වේවා, දීර්ඝායු වේවා, තාගේ පැතුම් සිදුවේවා, සංඝයා සහිතවූ මා කෙරෙහි කරණලද පූර්ව කර්මය (ආනිශංස වශයෙන්) අති මහත්ය.
307. “මින් (මතු) සියක් දහස්වන කපෙහි, ඔක්කාක කුලයෙහි උපන්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේය.
308. “උන්වහන්සේගේ ධර්මයෙහි දායාදීවූ ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්ධ) පුත්රවූ, රාධඝන නම්න් යුත් ශාස්තෘ ශ්රාවකයෙක් වන්නේය.
309. “ඔහුග් හේතු සම්පත්තියෙහි හා ගුණයෙහි තුටුවූ, ශාක්ය පුත්රවූ, නර ශ්රේෂ්ඨවූ, ඒ බුදුරජතෙම පටිභාණෙය්යක භික්ෂූන් අතුරෙන් අග්රස්ථානයෙහි තබන්නාහ” (කියායි.)
310. “එය අසා සතුටුවූ එකල්හි මෙත් සිත් ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ, ප්රඥාවත්වූයේ, දිවි ඇතිතාක් බුදුරජුන්හට පරිවරණය (සේවය) කෙළෙමි.
311. “මැනවින් කරන ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති (වශයෙන්) ගියෙමි.