535. කුමාරකස්සපත්ථෙරාපදානං
5811. මින් ලක්‍ෂයක් වන කපෙහි සියලු ලොවට හිතවූ, වීරවූ පදුමුත්තර නම් ලෝකනායක (බුදුරජ) තෙමේ ලොව පහළවූහ.
5812. එකල්හි මම වේදයෙහි පරතෙරට ගිය බමුණෙක්ව ප්‍රකටවූයේ, දිවා විහරණයෙහි හැසිරෙන්නේ (ලෝකනායකයන් වහන්සේ දුටිමි).
5813. සිව් සස් දෙසන්නාවූ, දෙවියන් සහිත ලෝකයාට දහම් අවබෝධ කරන්නාවූ, මහජනයා ඉදිරියෙහි විචිත්‍ර කථිකයනට අගතැන් පත් සව්වෙකු වර්ණනය කරන්නාවූ (බුදුරජුන් දුටිමි).
5814. එකල්හි ප්‍රමුදිත සිත් ඇති මම තථාගතයන් වහන්සේ පවරා නන්රුවනින් බබලන මඩුවක් නොයෙක් රතු වත්වලින් සරසා,
5815. එහි සංඝයා සහිත බුදුන් වැළඳවීමි. සතියක් මුළුල්ලෙහි නොයෙක් අග රස බොජුනෙන් වළඳවා,
5816. මම නන් වන් මලින් ශ්‍රාවක සංඝයා සහිත බුදුරදුන් පුදා පාමුල වැටී එම තනතුර පැතීමි.
5817. එකල්හි එම කරුණා ජලාශයක්වූ බුදුරජතෙම (මෙසේ) වදාළ සේක. “පියුමකට බඳු මුහුණු හා ඇස් ඇත්තාවූ (මේ බමුණු උතුමා බලව්).
5818. ප්‍රීති ප්‍රමොද්‍ය බහුලකොට ඇති, මැනවින් උඩට නැගාවූ ඌර්ධවාග්‍ර රෝම ඇති, ප්‍රීතිය අධික වීමෙන් විශාලවූ ඇස් ඇති, මාගේ සසුනෙහි ඇලුම් ඇති,
5819. මාගේ පාමුල වැටුනාවූ, (චිත්‍ර කථික භික්‍ෂූන් අතුරෙන් අග්‍රවීමය යන මේ) එකම අතට හැරුණු මනා අදහස් ඇති මේ බමුණු උතුමා බලව්. මෙතෙම විචිත්‍ර කථිකත්‍වයවූ ඒ මේ තනතුරු පතයි.
5820. මින් සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපන්නාවූ, ගොත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේය.
5821. උන්වහන්සේගේ ධර්මයෙහි දායාදීවු, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස බුද්‍ධපුත්‍රවූ කුමාර කස්සප නම් ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය.
5822. (පුදන ලද) විසිතුරු පුෂ්ප වස්ත්‍රයන්ගේද, රත්නයන්ගේද බලයෙන් හෙතෙම විචිත්‍ර කථිකවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍ර බවට පැමිණෙන්නේය (කියායි).
5823. මම මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මිනිස් සිරුර හැර තව්තිසාවට උත්පත්ති වශයෙන් ගියෙමි.
5824. රඟමඬල මැදට පත් නළුවෙකු මෙන්, භවය නමැති අහසෙහි කැරකෙමින්, ශාඛ මෘග පෝතකයෙක්ව මුව දෙනෙකුගේ කුසයෙහි පිළිසිඳ ගතිමි.
5825. එකල්හි මා මව්කූස පිළිසිඳ ගත් කල්හි (මවගේ) මරණයට නියමිත වාරය එළඹ සිටියේය. ශාඛ මෘගරාජයා විසින් අතහැරදමනලද මාගේ මව්තොමෝ න්‍යග්‍රොධ මෘග රාජයා පිහිටකොට ගියාය.
5826. එකල්හි ඒ න්‍යග්‍රොධ මෘග රාජයා විසින් මුදාගන්නාලද ඕතොමෝ මට මෙසේ අවවාද කළාහුය.
5827. න්‍යග්‍රොධ මෘගයාම සේවනය කරව. ශාඛ මෘග රාජයා සමග නොවසව. ඉදින් ශාඛ මෘග රාජයා සමග වැස යම් ජිවත්විමක් වේ නම් (එයට වඩා) න්‍යග්‍රොධ මෘග රාජයා කෙරෙහි වැස මරණය යෙහෙකි.
5828. එම න්‍යග්‍රොධ මෘග රාජයා විසින් අනුශාසනය කරන ලද මමද එසේම සෙස්සෝද, දුර රටක සිටියෙක් සිය ගෙදරට එන්නාක් මෙන් රම්‍යවූ තුෂිත දෙව්ලොව විසීම සඳහා ගියෝ (වෙමු.)
5829. යලි කාශ්‍යප බුදුරජුන්ගේ සසුන පිරිහී යන කල්හි කඳු මුදුනකට නැගී, බුදුසසුනෙහි යෙදී,