534. දබ්බත්ථෙරාපදානං
5769. පසැස් ඇත්තාවූ, සව් ලෝ (මැනවින්) දත්, පස් මරුන් දිනූ, පදුමුත්තර නම් බුදුරජතෙමේ මින් සියක් දහස්වන කපෙහි ලොව පහළවිය.
5770. (සව් සත්නට) ඔවා දෙන්නාවූ, දහම් අවබෝධ කරවන්නාවූ, (එසේම ඔවුන් සසර සයුරින්) එතර කරවන්නාවූ, දේශනාවෙහි දක්‍ෂවූ බුදුරජතෙමේ බොහෝ ජන සමූහයා (සසරින්) එතර කරවූ සේක.
5771. සව් සත්නට අනුකම්පා කරන්නාවූ, කාරුණීකවූ, හිත කැමති වන්නාවූ, (බුදුරජතෙම) පැමිණි සියළු තීර්ත්‍ථකයන් පන්සිල්හි පිහිටුවූහ.
5772. මෙසේ (එම කාලය) තීර්ත්‍ථකයන්ගෙන් හිස්වූ, නිරවුල්වූ, තාදි ගුණ ඇති (පඤ්ච වශිතාවන්ගෙන්) වශීභූතවූ, රහතුන්ගෙන් විසිතුරුවූවක් විය.
5773. එම බුදුරජතෙමේ අට පණස් රියනක් උසය. රන් ඇගෑවක් මෙන් බබලන්නේය. දෙතිස් මහා පුරිස් ලකුණු ඇත්තේය.
5774. එකල්හි වර්‍ෂ ලක්‍ෂයක් ආයුෂ වෙයි. ඒතාක් කල් වැඩහුන්නාවූ (මෙම) සර්‍වඥතෙම බොහෝ ජන සමූහයා (සසරින්) එතර කළ සේක.
5775. එකල්හි මම හංසවතී නගරයෙහි මහත් යසස් ඇති සිටු පුත්‍රයෙක් වූයේ, බුදුරජුන් වෙත එළඹ දම් දෙසුම් ඇසීමි.
5776. භික්‍ෂූනට සෙනසුන් පනවන්නාවූ සිය සව්වෙකුට පසසන උන්වහන්සේගේ වචන අසා සතුටුවූ මම,
5777. සංඝයා සහිතවූ ඒ බුදුරජුන්හට (දන්දීම් ආදීවූ) පින්කම් කොට (උන්වහන්සේගේ) පාමුල සිරසින් වැටී එම තනතුර පැතීමි.
5778. එකල්හි ඒ මහාවීරවූ බුදුරජතෙමේ මාගේ පුණ්‍ය කර්‍මයට පසසමින් මෙසේ කීහ. “යමෙක් තෙම සංඝයා සහිත බුදුරජුන් සතියක් වැළඳවීද,
5779. (හෙළ) පියුම් පතකට බඳු ඇස් ඇති, ශ්‍රේෂ්ඨවූ (පිරුණු) උරහිස් ඇති, රන්වන්වූ සිවි ඇති ඒ මේ සිටුපුතෙක් තෙම (මෙම) උතුම් තනතුර පතමින් මාගේ පාමුල වැටුනේද,
5780. මින් සියක් දහස්වන කපින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ බුදුරජතෙමේ ලොව පහළ වන්නේය.
5781. එකල්හි මෙතෙම එම බුදුරජුන්ගේ දබ්බ නම්න් ප්‍රසිද්‍ධවූ, සෙනසුන් පනවන්නාවූ අගසව්වෙක් වන්නේය (කියායි).
5782. මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසාවට ගියෙමි.
5783. මම තෙසියවරක් දිව්‍ය රාජ්‍යය කරවිමි. පන්සියවරක් සක්විති රජ වීමි.
5784. (කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය. එම කර්‍මයාගේ බලයෙන් හැමතන්හි සුව ඇත්තේ වීමි.
5785. මින් (යට) එක් අනූවන කපෙහි මනොඥ ඇස් ඇති, සියළු ධර්‍මයන් විදසුන් නුවණින් දක්නාවූ විපස්සී නම් බුදුරජතෙමේ ලොව පහළවූහ.
5786. තාදී ගුණ ඇති උන්වහන්සේගේ සියළු ආශ්‍රවයන් ක්‍ෂය කළ ශ්‍රාවකයෙකු ශුද්‍ධවූ උතුමෙකැයි දැනම දුෂ්ට සිත් ඇත්තේ නින්දා කෙළෙමි.
5787. මම සළාකයක් ගෙන එම බුදුරජුන්ගේ මහර්ෂීවූ (රහත්) සව්වනට කිරිබතක් දුනිමි.
5788. මම භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ කුලයෙහිවූ, මහත් යසස් ඇති, කථා කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, නම්න් කාශ්‍යප නම්වූ බුදුරජතෙමේ ලොව පහළවිය.
5789. ශ්‍රාවකයන් සහිතවූ හෙතෙම මිත්‍ථ්‍යාතීර්ත්‍ථකයන් මැඩ, සසුන බබුළුවා, හික්මවියයුතු ජනයන් හික්මවා පිරිනිවන් පෑහ.
5790. ශිෂ්‍යයන් සහිතවූ බුදුරජුන් පිරිනිවි කල්හි, සසුන පිරිහෙන කල්හි, කලකිරුණාවූ දෙවිවරු මිදූ (විසිරවූ) කෙස් ඇත්තාහු, කඳුලු පිරි මුහුණු ඇත්තාහු හැඬූහ.