533. මහාකප්පිනත්ථෙරාපදානං
5727. “සියළු දහම්හි තෙරපත් පදුමුත්තර නම් බුදුරජතෙමේ ලෝකය නමැති අහසෙහි උදාවූ ශරදාකාශයෙහි සූර්ය්යයා මෙන්,
5728. “වචන නමැති රශ්මියෙන් විනෙය ජන නමැති පියුම් පුබුදුවති. (එම) ලෝක නායක තෙමේ නුවණ නමැති රැසින් කෙළෙස් නමැති මඩ වියලති.
5729. “කණමැදිරි එලිය (නොබබුළුවන) හිරු මෙන් තීර්ත්ථකයින්ගේ යශස නසයි. සත්යාර්ත්ථ ප්රභාව ප්රකට කෙරෙයි. සූර්ය්යතෙමේ රත්නයන් ප්රකටකොට දක්වන්නාක් මෙනි.
5730. “රත්නයනට සයුර මෙන් ගුණයට රැස්වන තැනක් (ආකාරයක්) වේ. භූත වස්තූන් (තෙමා සමාධියට පත් කරන) වැහි වළාවක් මෙන් ලෝකයා දහම් වැස්සෙන් තෙමයි.
5731. “මම එකල්හි හංසවතී නගරයෙහි සාරදර්ශීවූ ආචාර්ය්යවරයෙක් වීමි. (එහි) එළඹ ජලජුත්තර නම් (බුදුරදුන්ගේ) ධර්මය ඇසීමි.
5732. “භික්ෂූනට අවවාද කරන්නවුන් අතුරෙන් (අගතැන්පත්) කටයුතු දෑ කොට නිමවූ ශ්රාවකයෙකුගේ ගුණ පවසන්නාවූ, මාගේ සිත සතුටු කරන්නාවූ (බුදුරදුන්ගේ දහම් ඇසීමි).
5733. “(එම ධර්මය) අසා සතුටුවූයේ, සොම්නස්වූයේ, ශිෂ්යන් සහිතවූ තථාගතයන් පවරා (දන්) වළඳවා එම තනතුර මමද පැතීමි.
5734. “එකල්හි හංසහඬ ඇති, බෙර හඬකට බඳු මහා ස්වර ඇති, මහත් භාග්ය ඇති බුදුරජතෙමේ මෙසේ පැවසූහ. “විනිශ්චයෙහි විශාරදවූ මේ මහාමාත්යයා දෙස බලව්.
5735. “මාගේ පාමුල වැටුනාවූ, මැනවින් උඩට නැගුනාවූ ඌර්ධවාග්රරෝම ඇති, මේඝවර්ණවූ, පිරිපුන් උරහිස් ඇති, පැහැදි ඇස් හා මුහුණ ඇති (හෙතෙම බබලයි).
5736. “මහත්වූ පිරිවර සහිතව, මහා යශස් රඤජනය කරන්නාවූ ප්රමුදිත සිත් ඇති මෙතෙම, කටයුතු දෑ කොට නිමවූ භික්ෂූනට ඔවා දෙන්නවුන් අතුරෙන් අගතැන් (පත් එම ශ්රාවකයාගේ) තනතුර පතයි.
5737. “මෙම පිණ්ඩපාත දානය කරණකොටගෙනද, චිත්ත ප්රණිධීන් කරණකොටගෙනද, කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදියි.
5738. “දෙවියන් අතුරෙහි දිව්යමය සෞභාග්යයද, මිනිසුන් අතුරෙහි මහන්තත්වයද අනුභවකොට (එම) කර්මාවශේෂයෙන් නිවණටද පැමිණෙන්නේය.
5739. “මින් සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපන්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේය.
5740. “උන්වහන්සේගේ ධර්මයෙහි දායාදීවූ ධර්මයෙන් නිර්මිත කළාක් බඳුවූ ඖරස (බුද්ධපුත්ර)වූ නම්න් කප්පින නම්වූ ශාස්තෘ ශ්රාවකයෙක් වන්නේය” (කියායි.)
5741. “ඉක්බිති මම සර්වඥ ශාසනයෙහි (මෙම) මහා පින්කම කොට, මිනිස් සිරුර හැර, තුෂිත දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
5742. “දැහැමින් සෙමින් සියක් වරක් මනුෂ්ය රාජ්යයන් (අනුශාසනය) කොට, බරණැස සමීපයෙහි පෙශකාර කුලයෙහි උපන්නේ වෙමි.
5743. “භාර්ය්යාව සහිතවූ මම දහසක් පිරිවරද සමග පන්සියයක් පසේබුදුවරුනට උවටැන් කෙළෙමි.
5744. “තෙමසක් (මුළුල්ලෙහි දන්) වළඳවා තුන් සිවුරු දුනිමු. අපි සියල්ලෝ ඉන් චුතව තව්තිසා දෙව්ලොවට ගියෙමු.
5745. “යලි අපි සියල්ලෝ ඉන් චුතවූවාහු මිනිසත්බවට පැමිණියෙමු. හිමවත් පව් පසෙකින් (පැත්තකින්) වූ කුක්කුට පුරයෙහි උපන්නෝ වෙමු.
5746. “මම මහත් යසස් ඇති, කප්පින නම් රාජ පුත්රයෙක් වීමි. සෙස්සෝ ඇමති කුලයෙහි උපන්නාහු මාව පිරිවැරූහ.
5747. “සියළු කාම සුඛයන්ගෙන් සමෘධවූ මම මහරජ සුවයට පැමිණයේ වෙළඳුන් විසින් කියන ලද බුදු උපත (ගැන) ඇසීමි.
5748. “බුද්ධො ලොකෙ සමුප්පන්නො අසමො එකපුග්ගලො,
සො පකාසෙති සද්ධම්මං අමතං සුඛමුත්තමං.
සො පකාසෙති සද්ධම්මං අමතං සුඛමුත්තමං.
5749. “උන්වහන්සේගේ ශිෂ්යයෝද මැනවින් (එම ධර්මයෙහි) යෙදුනෝය. ආශ්රවයන් කෙරෙන් මැනවින් මිදුනෝය” (කියායි.) ඔවුන්ගේ මේ මනා වචනය අසා (එම) වෙළඳුන්හට සත්කාරකොට,
5750. “රාජ්යය හැර දමා, ඇමතියන් සහිතව (තථාගතයන් දක්නට) නික්මුණේය. මුවවිට දක්වා (සමව) පිරුණාවූ චන්ද්රභාග මහා නදිය දැක,
5751. “එහි වැටුනු අයට කිසිදු පිහිටක් නොමැති බැවින් ප්රතිෂ්ඨා විරහිතවූ, එල්බ ගැනීමට කිසිවක් නැති බැවින් නිරාලම්බවූ, තරණය කිරීමට දුෂ්කරවූ, ශීඝ්රව (වේගයෙන්) ගලා බස්නාවූ (චන්ද්රභාග නදිය) බුදුරජුන්ගේ ගුණ සිහිකොට සුවසේ ඉක්මවීමි. (කේසේදයත්?)
5752. “ලෝකයෙහි කෙළවරට ගියාවූ, (දතයුතුතාක් සියල්ල) දන්නා සර්වඥතෙමේ ඉදින් භවය නමැති සැඩපහර තරණය කළේ නම් එම සත්ය වචනය කරණකොටගෙන මාගේ ගමන සමෘද්ධි වේවා.