526. දණ්ඩදායක ථේරාපදානය
36. “මම එකල්හි මහ වනයට පිවිස, හුණ (දණ්ඩක්) කපා, එල්බෙන ලීයක් (සැරයටියක්) කොට සංඝයාට දුනිමි.
37. “එම චිත්ත ප්රසාදය කරණකොටගෙන, මනා ව්රත ඇති සංඝයාට වැඳ ආලම්බන දණ්ඩ (සැරයටිය) දී උත්තර දිශාභිමුඛව ගියෙමි.
38. “මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් ආලම්බන දණ්ඩයක් (සැරයටියක්) දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සැරයටි දීමෙහි මේ විපාකයයි.
39. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
40. “ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්රිවිද්යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් දණ්ඩදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
දණ්ඩදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
527. ගිරිනෙලපූජක ථේරාපදානය
42. “මම පෙර වනයෙහි හැසිරෙන්නාවූ වැද්දෙක්වීමි. (එකල්හි) සියළු දහම්හි කෙළ පැමිණි (කෙළෙස්) රජස් විරහිත බුදුරජුන් දුටිමි.
43. සව්සතුන් කෙරෙහි යහපත කිරීමෙහි ඇළුණු, මහා කාරුණීකවූ උන්වහන්සේ කෙරෙහි පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ ගිරිනිල් මල් පිදීමි.
44. “මින් එක් තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
45. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
46. “ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්රිවිද්යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගිරිනෙල පූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
ගිරිනෙලපූජකත්ථෙරස්සාපදානං සත්තමං.
528. බොධිසම්මජ්ජක ථේරාපදානය
48. “මම පෙර සෑ මළුවෙහි හැරදැමූ බෝපත් (දැක) එය ගෙන බැහැර ලීමි. (එහි) විසි ගුණයක් අනුසස් ලැබීමි.
49. “එම කම් බෙලෙන් කුදුමහත් භවයෙහි සැරිසරන්නේ දිව්යවූද, මනුෂ්යවූද දෙඅත්බැව්හි සැරිසරමි.
50. “දෙව්ලොවින් ච්යුතව මනුෂ්ය භවයට පැමිණ ක්ෂත්රිය බ්රාහ්මණ දෙකුලෙහි (පමණක්) උපදිමි.
51. “සුපුන් අඟපසඟ ඇත්තේ, ආරෝහ පරිණාහයෙන් යුතුවූයේ, නොඅඩුව සම්පූර්ණ අඞ්ග ඇත්තේ, පිරිසිදුවූයේ, මනා රූ ඇත්තේ වෙමි.
52. “දෙව් ලොවෙහි හෝ, මිනිස් ලොවෙහි හෝ යම් කිසි තැනක උපන්නේ නම්, නිවනලද ස්වර්ණයක් මෙන් රන්වන් වන්නේය.
53. “බෝපත් බැහැරකළ කල්හි (ඒ හේතුවෙන්) මාගේ සිවිය හැමකල්හි මෘදුද, මෙලෙක්ද, සිනිඳුද, සියුම්ද, සියුමැලිද වේ.
54. “යම්කිසි ගතියක සිරුර පහළවූ කල්හි (එහි) දැලි, කුණු නොතැවරේ. බෝපත් බැහැරලීමෙහි මේ විපාකයයි.
55. “උෂ්ණවූ අවු සුලං ඇති කල්හිද, යලි ගිණි රශ්මිය කරණකොටගෙනද ඒ මාගේ සිරුරෙහි ඩහ නොවැගිරේ. (මෙය) සෑ මළුවෙහි බෝපත් බැහර කර ලීමෙහි විපාකයයි.
56. “කුෂ්ටද, ගෙඩිද, කැසිලිද, තලකැලැල්ද, පොළවල් (බිබිලි)ද, එසේම දදද, සිරුරෙහි නොවෙත්. පත් බැහැර කිරීමෙහි (කසල ඉවත් කිරීමෙහි) මේ විපාකයයි.