433. පාටිහීර සඤ්ඤක ථේරාපදානය
4655. එකල්හි ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ පදුමුත්තර නම් බුදුරජතෙම රහත් ලක්‍ෂයක් සමග නුවරට පිවිසි සේක.
4656. තාදී ගුණ ඇති, උපශාන්තවූ (උන්වහන්සේ) නගරයට පිවිසෙන කල්හි (තුමූම) බැබලුනාහ. එකෙණෙහි මහත් ඝෝෂාවක්ද විය.
4657. නගරයට පිවිසෙන්නාවූ බුදුරජුන් ඉදිරියෙහි එම බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් භෙරිවාදයෝ (තුමූම) වීණාවෝ ශබ්ද වූවාහුය. (තුමූම) වැයෙත්.
4658. මහා මුනිවූ පදුමුත්තර නම් බුද්‍ධ ශ්‍රේෂඨයන් වහන්සේ නොදකිමි. එහෙත් ප්‍රාතිහාර්‍ය්‍යය දැක ඉන් සිත පැහැදවීමි.
4659. බුදුරජතෙම ආශ්චර්‍ය්‍යයකි. ධර්‍මය ආශ්චර්‍ය්‍යයකි. අචෙතනවූ තූර්‍ය්‍යයෝ පවා තුමූව වැයෙත්.
4660. මින් සියක් දහස්වන කපෙහි වූ එකල්හි යම් බුද්‍ධ සංඥාවක් ලදු වේද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ සංඥාවගේ මේ විපාකයයි.
4661. මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4662. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
4663. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාටිහීර සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පාටිහීරසඤ්ඤකත්ථෙරස්ස අපදානං තතියං.
434. ඤාණාථවික ථේරාපදානය
4664. කිණිහිරි රුකක් මෙන් දිලිසෙන, ප්‍රදීප වෘක්‍ෂයක් මෙන් බබලන, ස්වර්‍ණයක් මෙන් දීප්තිමත් බුදුරජුන් දිටිමි.
4665. මම ධර්‍මකරකයද, වැහැරි සිවුරද, කෙණ්ඩියද තබා, අඳුන් දිවිසම එකක් කොට බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට ස්තූති කෙළෙමි.
4666. මහා මුනීන් වහන්ස, (ඔබ) මෝහ දැලින් අවුල්වූ ගණඳුරු නසා, නුවණ නමැති එළියද දක්වා, (සසර සයුර) තරණය කෙළේ වෙහිය.
4667. මෙම ලෝකයා (සසරින්) ගොඩ දමහිය. ලෝකය යම්තාක්ද, ඒතාක්ද පැතිරීගිය, සියල්ල සහිතවූ අනුත්තර නිර්‍වාණයද (විෂය කොට ඇති) ඔබ වහන්සේගේ නුවණෙහි උපමාවක් නම් නැත.
4668. සර්‍වඥයන් වහන්ස, (ඔබට) එම ඥානය කරණකොටගෙන බුද්‍ධයයි කියනු ලැබේ. මහා වීරයන් වහන්ස, සියල්ල පිළිබඳව දැනීම ඇති ඒ සර්‍වඥතා ඥානයද, අනාවරණ ඥානයද වඳිමි.
4669. මම මින් සියක් දහස් වන කපෙහි බුද්‍ධ ශ්‍රේෂඨයන් වහන්සේට ස්තූති කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සර්‍වඥතා ඥානයට පැසසීමෙහි මේ විපාකයයි.
4670. මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
4671. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
4672. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඤාණාථවික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ඤාණත්ථවිකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
435. උච්ඡුඛණ්ඩික ථේරාපදානය
4673. මම බන්ධුමතී නගරයෙහි වාරපාලකයෙක් වීමි. (එකල්හි) නිර්‍මලවූ සියළු ධර්‍මයන්ගේ පරතෙරෙට ගියාවූ බුදුරජුන් දුටිමි.
4674. මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, මහර්ෂීවූ විපස්සී නම් බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට උක් කැබැල්ලක් ගෙන දුනිමි.
4675. මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් උක් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. උක් කැබලි දනෙහි මේ විපාකයයි.