412. එකඡත්තිය ථේරාපදානය
චන්‍ද්‍රභාග නදී තීරයෙහි මට ආශ්‍රමයක් කරණ ලදී. (එහි) සුදෝ සුදු වැල්ලෙන් ගැවසීගත් පන්සැලක්ද නිර්මිත කරණ ලදී.
එහි නොගැඹුරු ඉවුරු ඇති, මනාවු කුඩා තොටුපල ඇති, මනොඥවූ මස් කැසුබුවන්ගෙන් යුත්, සූ සූ හඬ නංවමින් දිය බුබුළු උඩට නංවන සුංසුමාරයන් විසින් සෙව්නා ලද කුඩා නදියක් විය.
වලස්සුය, මොනරුය, දිවියෝය, කොවුලෝය, සැළලිහිණියෝය යන මොවුහු හැම කල්හි මාගේ අසපුව හොබවමින් ශබ්ද කෙරෙත්.
මිහිරි හඬ ඇති කොවුලෝද, මධුර ස්වර ඇති හංසයෝද, යන මොවුහු එහි මාගේ අසපුව හොබවමින් නාද කෙරෙත්.
සිංහයෝද, ව්‍යාඝ්‍රයෝද, හූරෝද, වෘකයෝද, කොක්නගවෝද, කරබානා වලස්සුද මාගේ අසපුව හොබවමින් ගිරිදුර්‍ගයන්හි නාද කෙරෙත්.
එහි මෘගයෝද, සරභමාශයෝද, කැනහිල්ලුද, හූරෝද යන මොවුහු බොහෝ දෙන මාගේ අසපුව හොබවමින් ගිරි දුර්‍ගයන්හි නාද කෙරෙත්.
ඇසළය, සපුය, පළොල්ය, නිකය, සොහොඹුය, අසෝකය යන මේ වෘක්‍ෂයෝ මාගේ අසපුවෙහි පිපෙත්.
රුකඟුණය, සීනිද්දය, සත්පෙති දෑසමන්ය, බිඹුදැල්ය, කණ්ණිකය, කිණිහිරිය යන මොවුහු මාගේ අසපුවෙහි පිපෙත්.
නාය, සල්ය, සලලුය, හෙළපියුම්ය යන මොවුහු මෙහි පිපියාහු, දිව සුවඳ හමමින් මාගේ අසපුව හොබවත්.
කුඹුක්ය, පීයාය, උක්ය, සල්ය, පුවඟුය යන මේ වෘක්‍ෂයෝ එහි පිපීගියාහු මාගේ අසපුව හොබවත්.
අඹය, දඹය, මදටය, කොසඹය, සල්කලණය යන මේ වෘක්‍ෂයෝ දිව සුවඳ හමමින් මාගේ අසපුව හොබවත්.
හෝපළුද, ගිවුළුද, භගිනිමාලය යන මොවුහු පිපීගියාහු, දිව සුවඳ හමමින් මාගේ අසපුව හොබවත්.
රෝපනය කරණ ලද කොළොම්ය, කෙසෙල්ය, එසේම, ඎෂිමුද්ග නම් ධාන්‍ය විශේෂය යන මොවුහු මාගේ අසපුව හොබවමින් නිතර ඵල දරත්.
අරළුය, නෙල්ලිය, අඹය, ජම්බුය, බුළුය, ඩෙබරය, බදුළුය, බෙලිය යන මෙකී වෘක්‍ෂයෝ මාගේ අසපුවෙහි ඵල දරත්.
(අසපුවට) නුදුරෙහි මනාවූ කුඩා තොටුපලවල් ඇති මනොඥවූ මන්දාලක පුෂ්පයන්ගෙන්ද, පියුම් හා උපුල්වලින්ද ගැවසීගත් පොකුණකි.
මාගේ අසපුවෙහි ඇතැම් පද්මයෝ කැකුළු හටගනිත්. ඇතැම් කෙසුරු සහිත පියුම් පිපෙත්. ඇතැම් දිග හැරුණු පත් ඇති පියුම් කර්ණිකාවෝද ප්‍රබෝධ වෙත්.
පාඨින නම් මත්ස්‍යයෝ (පෙටියෝ)ද, පාවුසපනම් මත්ස්‍යයෝ (ලූල්ලු)ද, වලජ නම් මත්ස්‍යයෝ (වලයෝ)ද, මුඤ්ජ නම් මත්ස්‍යයෝ (මොද්දු)ද, රොහිත නම් මත්ස්‍යයෝ (රෙහෙරු)ද යන මොවුහු පැහැදි දියෙහි හැසිරෙමින් මාගේ අසපුව හොබවත්.
නයිතාය, අම්බගන්ධිය, කෙතකිය යන මෙකී වෘක්‍ෂයෝ වාතය හමන දෙසට අනුව දිව සුවඳ හමමින් මාගේ අසපුව හොබවත්.
නෙලුඹලවලින්, නෙලුඹුදැලිවලින් කිරි හා ගිතෙල්ද වැගිරේ. දිවසුවඳ මීද හමවමින් මාගේ අසපුව හොබවත්.
එහි ජලයෙන් සෙව්නා ලද, ආකීර්ණවූ වැලිතලාවෝ ශොභනයහ. උඩට නැගුනු පුෂ්පයෝ පිපීගියාහු, මාගේ අසපුව හොබවමින් තිබෙත්.
අඳුන් දිවිසම් හැඳි, ජටාභාරයෙන් බරවූ, වැහැරි සිවුරු දරණ සියළු (තවුසෝ) මාගේ අසපුව හොබවත්.
වියදඬු පමණ දුර බලන්නාවූ, ප්‍රාඥවූ, සන්හුන් පැවතුම් ඇති, කම් සුව අනුභවයෙහි බලාපොරොත්තු නැති (මෙම තවුසෝ) මාගේ අසපුවෙහි වසත්.