413. තීණසූලක ඡදනීය ථේරාපදානය
මම එකල්හි ජාති, ජරා, මරණයන් පිළිබඳව සිහි කෙළෙමි. එක්ව ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
පිළිවෙලින් හැසිරෙන්නේ, ගංතෙරට එළඹියෙමි. එහි ගංතෙරෙහි උඩට නැගී ගිය පොළොව දුටිමි.
මම එහි අසපුවක් සදාගන එම අසපුවෙහි වසමි. මැනවින් කරණ ලද මාගේ අසපුව නොයෙක් පක්ෂි සමූහයාගෙන් යුක්තය.
(එම පක්ෂීහු) විශ්වාස ඇත්තාහු, මා වෙත එළඹෙත්. මනහර ලෙස නාද ද කරත්. මම ඔවුන් සමග සිත් ඇලවුයේ අසපුවෙහි වෙසෙමි.
මාගේ අසපුව හාත්පස සිව් දිග නාදකොට ඒ මෘගරාජ (සිංහ) තෙම ඔහු වසන ගුහාවෙන් නික්ම, හෙන පුපුරන්නාක් මෙන් ගර්ජනා කෙළේය.
(එම) මෘගරාජයා (සිංහයා) ගර්ජනය කළ කල්හි මට ප්‍රීතිය ඇතිවිය. මම එම මෘග රාජයා සොයන්නේ, ලෝක නායකවූ බුදුරජුන් දුටිමි.
මම දේවාතිදේවවූ තිස්ස බුදුරජුන් දැක සතුටුවූයේ, සතුටු සිතින්ම නාග කෙශර (නාමල් රේණු) පිදීමි.
උදාවන හිරු වැනිවූ, පිපුනු උතුම් සල් රුකක් වැනිවූ, ලෝකනායකවූ බුදුරජහට ස්තූති කෙළෙමි.
සර්වඥයන් වහන්ස, ඔබ වහන්සේගේ ඤානයෙන් මෙම දෙවියන් සහිත ලෝකයා (සසරින්) මිදුනේය. ඔබ වහන්සේ සතුටුකොටම (ඔවුහු) (මෙම) ජාති සංසාරයෙන් මිදෙත්.
සර්‍වදර්ශීවූ සර්වඥ බුදුරජුන්ගේ නොදැකීමෙන් රාග ද්වේෂයන්ගෙන් පැතිරීගිය (සත්ත්වයෝ) අවීචි නිරයෙහි වැටෙති.
සර්වඥයන් වහන්ස, ලෝකනායකයන් වහන්ස, ඔබ වහන්සේගේ දර්ශනය නිසා සියල්ලෝ භවයෙන් මිදෙත්. අමෘත පදයවූ නිවන ස්පර්ශ කෙරෙත්.
යම් කාලයක් පසැස් ඇති ආලෝකවත්වූ බුදුවරයෝ ලොව උපදිත්ද, ඔවුහු කෙළෙස් දවා ආලෝකය දක්වත්.
මෙසේ ලෝකනායකවූ තිස්ස බුදුරජුන්හට ස්තූතිකොට, ස්තුතිවූයේ සතුටු සිතින්ම බෝලිද්ද (මල්) පිදීමි.
ලෝකනායකවූ තිස්ස බුදුරජතෙමේ මාගේ අදහස දැන, සිය අසුනෙහි වැඩහිඳ, මෙම ගාථාවන් වදාළ සේක.
යමෙක් තෙම පහන් සිතැත්තේ, සියතින්ම මා මල්වලින් වැසීද, මම ඒ කවරෙක්දැයි කියන්නෙමි. (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.
හෙතෙම පස්විසි වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය. පන් සැත්තෑ වරක් සක්විති රජ වන්නේය.