409 ජතුකණ්ණි ථේරාපදානය
4165. “මම හංසවතී නගරයෙහි සිටු පුත්‍රයෙක් වීමි. එකල්හි මම (සියළු) කාම ගුණයන්හි යෙදුනේ පිරිවර සහතව වසමි.
4166. “ගෙවල් ලකුණු දන්නෝ (ප්‍රාසාද තුණක්) ගොඩනැගූහ. (එම) තුන් පහයට නැගී එහි මම නෘත්‍යයන්ගෙන්ද, ගීතයන්ගෙන්ද යුතුව එකල්හි පිරිස් සහිතව වෙසෙමි.
4167. “මට කුළු තාලම් ආදියෙන් යුත් තූර්‍ය්‍යයෝ ගසන ලදහ. සියළු ස්ත්‍රීහු නටන්නාවූ මාගේ සිත පැහැරගනිත්මය.
4168. “පිලිහිස සිසාරන්නියෝද, මිටි අය මෙන් නටන්නියෝද, සිහදෙනෙකු මෙන් මැද පෙදෙස පෙන්වමින් නටන්නියෝද, උඩට මතුවෙමින් නටන්නියෝද, ශෝකීව සිතන්නවුන් මෙන් නටන්නියෝද, හැම කල්හි මා පිරිවරත්.
4169. “වන්දිභට්ටයෝද, කුම්භථූන නම් එක් මුහුණින් යුත් තූර්ය්ය විශේෂය වයන්නෝද, යන මෙකී නළු නිලියෝ බොහෝ වෙති. මෙම නළු නිලියෝ හැම කල්හි මා පිරිවරත්.
4170. “කරණැවෑමියෝද, දියවඩන්නෝද, අරක්කැමියෝද, මල්කරුවෝද, මැනවින් පසැට කෙළින්නෝද, ජල්ල ක්රීඩකයෝද, මලල ක්රීඩකයෝද, යන මෙකී සියල්ලෝම හැම කල්හිම මා පිරිවරත්.
4171. “(ශිල්පයන්හි) හික්මුනාවූ, පලපුරුදුකම් ඇති මොවුන් ක්‍රීඩා කරණ කල්හි තව්තිසාවෙහි ශක්‍රයා මෙන් රෑ දාවල් නොදනිමි.
4172. “දීර්ඝ මාර්ගයට පිළිපන්නෝද, මගියෝද, යාචකයෝද, (තැනක් නියමයක් නොමැතිව) ඇවිදින්නෝද යන බොහෝවූ මොවුහු නිතර ඉල්වමින් මාගේ ගෙට පැමිණෙත්.
4173. “නිරුත්තර පුණ්‍යක්‍ෂෙත්‍රවූ ශ්‍රමණයෝද, බ්‍රාහ්මණයෝද, මාගේ පිණ වැඩි කරන්නාහු, මාගේ ගෘහයට පැමිණෙත්.
4174. “පටකස, ලටකය, පුප්ඵසාටකය, තෙදණ්ඩිකය, එකසිඛය, යන සියළු නිඝණ්ඨයෝ මාගේ ගෘහයට පැමිණෙත්.
4175. “විලුත්තාචිය, ගොධම්මය, දෙවධම්මිකය, රජොජල්ලධරය යන මේ ආජීවකයෝ මාගේ ගෘහයට පැමිණෙත්.
4176. “පරිවත්තකය, සිද්ධිපත්තය යන තවුසෝද, කොණ්ඩය, පුග්ගණිකාය යන වනචාරීහුද මාගේ ගෘහයට බොහෝ පැමිණෙත්.
4177. “ඔඩ්ඩකය, දමිළය, සාකුළය, මලයාලකය, යබරය, යොනකය යන මොවුහු මාගේ ගෘහයට පැමිණෙත්.
4178. “අන්ධකයෝද, මුණ්ඩකයෝද, කොලකයෝද, සානුවින්දකයෝද, ආරාවචීන රාෂ්ට්රිකයෝද යන මේ සියල්ලෝ මාගේ ගෘහයට පැමිණෙත්.
4179. “අලඝන්දකයෝද, පල්ලවකයෝද, බබ්බරයෝද, භග්ගකාරුසයෝද, රෝහිතයෝද, චෙතපුත්තකයෝද මාගේ ගෘහයට පැමිණෙත්.
4180. “මාධුරකයෝද, කොසලකයෝද, නාසිකයෝද, හස්ථිපොරකයෝද, ඉසිණ්ඩකයෝද, මක්කලයෝද මාගේ ගෘහයට පැමිණෙත්.
4181. “චෙලාවකයෝද, අරම්මයෝද, ඔක්කලයෝද, මෙඝලයෝද, ඛුද්දකයෝද, සුද්දකයෝද යන බොහෝ දෙන මාගේ ගෘහයට පැමිණෙත්.
4182. “රෝහණයෝද, සින්ධවකයෝද, චිතකයෝද, එකකණ්ණිකයෝද, සුරට්ඨයෝද, අපරන්තයෝද මාගේ ගෘහයට පැමිණෙත්.
4183. “සුප්පාරකයෝද, කිකුමාරයෝද, මලයයෝද, සොණ්ණභූමිකයෝද, විජ්ජිතාරාවෝද යන මේ සියල්ලෝ මාගේ ගෘහයට පැමිණෙත්.
4184. “(බටවලින් වැඩ කරණ) නළකාරයෝද, (රෙදි වියන) පෙෂකාරයෝද, (සම් වැඩ කරණ) චම්මකාරයෝද, (වඩු වැඩ කරණ) තච්ඡකයෝද, (කඹුරු වැඩ කරන) කම්මාරයෝද, (හැලි වලන් සාදන) කුම්භකාරයෝද මාගේ ගෘහයට පැමිණෙත්.
4185. “(මැණික් වැඩ කරන) මැණික්කාරයෝද, (ලොහෝ වැඩ කරන) ලෝහකාරයෝද, (රන් වැඩ කරන) සොණ්ණකාරයෝද, (රෙදි වැඩ කරන) දුස්සිකයෝද, (ඊයම් වැඩ කරන) තිපුකරයෝද යන මේ සියල්ලෝ මාගේ ගෘහයට පැමිණෙත්.
4186. “(ඊ වැඩ කරන) උසුකාරයෝද, (ලියන වඩු වැඩ කරන) භමකාරයෝද, (රෙදි වියන) පෙෂකාරයෝද, (සුවඳ සාදන හෝ විකුණන) ගන්ධිකයෝද, (රෙදි සෝදන පොවන) රජකයෝද, (රෙදි මහන) තුණ්ණවායෝද මාගේ ගෘහයට පැමිණෙත්.
4187. “(තෙල් සාදන හෝ විකුණන) තෙලිකයෝද, (දර අදින) කට්ඨහාරයෝද, (ජලය අදින) උදහාරයෝද, (පණිවුඩ ගෙනයන) පෙස්සිකයෝද, (සූප සාදන) සූපිකයෝද, (සූප රකින) සූපරක්ඛයෝද මාගේ ගෘහයට පැමිණෙත්.
4188. “(දොරටුපාලකම් කරන) දොවාරිකයෝද, (බල ඇණියෙහිවූ) අණිකට්ඨයෝද, (තුති පැසසුම් කරන) වන්දිකයෝද, (ගැබ් මල හෝ පරමල් බැහැර ලන) පුප්ඵඡඩ්ඩකයෝද, (ඇතුන් පිට නගින) හත්ථාරුහයෝද, (ඇතුන් බලන) හත්ථපාලකයෝද මාගේ ගෘහයට පැමිණෙත්.
4189. “ප්‍රමාදීවූ ආනන්ද මහරජුට මම සත්රුවන් දුනිමි. මම (ඔහුගේ පවා) අඩු බැව් (අඩු පාඩු) පිරවීමි.
4190. “මා විසින් මැනවැයි පසසන ලද යමෙක් වෙත් නම් ඒ සියල්ලෝ නා නා ජාතිවලට අයත් බොහෝ දෙන වෙති. මම ඔවුන්ගේ සිත් දැන රුවනින් තෘප්ත කෙළෙමි.
4191. “මිහිරි වදන් කියන කල්හි, බෙර වයන කල්හි, සක් පිඹින කල්හි මම ස්වකීය ගෘහයෙහි සිත් අලවා වෙසෙමි.