410. උදෙන ථේරාපදානය
4219. “හිමවතට නුදුරුව පදුම නම් පර්වතයක් විය. මට (එහි) අසපුවක් මැනවින් කරණ ලදී. පන්සලක්ද කොට නිමවන ලදී.
4220. “මනාවූ කුඩා තොටුපොලවල් ඇති, මනොඥවූ නදිහු එහි ගලා බසිත්. එම නදීහු හැම කල්හි පිරිසිදු දිය ඇත්තාහුය. (එසේම) සිහිල් දිය ඇත්තාහුය. සුන්දරවෙති.
4221. “පාඨින නම් මත්ස්‍යයෝ (පෙටියෝ)ද, පාවුස නම් මත්ස්‍යයෝ (ලූල්ලු)ද, වලජ නම් මත්ස්‍යයෝ (වලයෝ)ද, මුඤ්ජ නම් මත්ස්‍යයෝ (මොද්දු)ද, රොහිත නම් මත්ස්‍යයෝ (රෙහෙරු)ද, යන මොවුහු නදිය හොබවන්නාවූ හැම කල්හිම (එම) නදියෙහිම වසත්.
4222. “අඹ, දඹ රුක්වලින් වැසීගිය නදියද, එසේම කරෙරිය, තිලකය (මදයට)ය, උද්දාලක (ඇසළ)ය, පාටලී (පළොල්)ය යන මෙකී වෘක්ෂයෝ මාගේ අසපුව හොබවත්.
4223. “පිපීගිය අඞ්කොලක (රුකඟුණ)ය, බිම්බිජාලය, මායාකාරීය යන මෙකී වෘක්ෂයන්ගෙන් සුවඳින් (යුතු වාතය හමන්නාවු) මාගේ අසපුව හොබවත්.
4224. “මැනවින් පීගිය අතිමුත්ත (යොහොඹු)ය, සත්තලික (සත්පෙති දෑසමන්)ය, නාග (නා)ය, සාල (සල්)ය, යන මොවුහු දිව සුවඳ හමවමින් මාගේ අසපුව හොබවත්.
4225. “කොසම්බ (කොසඹ)ය, සල්ලය, නිප (කොළොම්)ය, අඨඞ්ගය යන වෘක්ෂයෝ පිපී ගියාහු, දිව සුවඳ හමමින් මාගේ අසපුව හොබවත්.
4226. “අරළුය, නෙල්ලිය, අඹය, දඹය, බුළුය, ඩෙබරය, බදුළුය, බෙලිය යන මෙකී ඵලයෝ අසපුවෙහි බොහෝ වෙති.
4227. “කළම්බ (කොලොම්), කන්දලී (බිම් කෙහෙල්) එහි මාගේ අසපුවෙහි පිපෙත්. දිව සුවඳ හමමින් මාගේ අසපුව හොබවත්.
4228. “අසෝක, පිණ්ඩිය, චවරීය, කොසඹය, යන මෙකී වෘක්ෂයෝ පිපී ගියාහු, දිව සුවඳ හමමින් මාගේ අසපුව හොබවත්.
4229. “පුන්නාහ (දොඹ)ය, ගිරිපුන්නාහය, තිමිරය යන මේ වෘක්ෂයෝ එහි පිපීගියාහු දිව සුවඳ හමමින් මාගේ අසපුව හොබවත්.
4230. “කිග්ගුණ්ඩි (තික)ය, සිරිනිග්ගුණ්ඩි (සිරීනික)ය, සපුය යන මේ වෘක්ෂයෝ පිපීගියාහු දිව සුවඳ හමමින් මාගේ අසපුව හොබවත්.
4231. “අසපුවට නුදුරෙහි පොකුණකි. එම පුෂ්කරණී තොමෝ සක්වා ලිහිණියන් විසින් හඬනගන ලද්දීය. මන්දාලක පුෂ්පයන්ගෙන්ද, පියුම්, උපුල් මල්වලින්ද ගැවසී ගත්තීය.
4232. “පැහැදි දිය ඇත්තීය. සිසිල් ජලයද ඇත්තීය. මනාවූ කුඩා තොටු පොළවල් ඇත්තීය. මනරම් වූවාය. පළිඟු මෙන් පැහැදිලිය. (එබඳුවූ පුෂ්කරණී තොමෝ) මාගේ අසපුව හොබවයි.
4233. “එහි රන් පියුම්ද, හෙළ පියුම්ද, උපුල්ද (යන මේ පුෂ්පයෝ) පිපෙත්. මන්දාලක පුෂ්පයන්ගෙන්ද ගැවසි ගත්තීය. (එම පුෂ්කරණී තොමෝ) මාගේ අසපුව හොබවයි.
4234. “පාඨින නම් මත්ස්‍යයෝ (පෙටියෝ)ද, පාවුස නම් මත්ස්‍යයෝ (ලූල්ලු)ද, වලජ නම් මත්ස්‍යයෝ (වලජයෝ)ද, මුඤ්ජ නම් මත්ස්‍යයෝ (මුද්දු)ද, රොහිත නම් මත්ස්‍යයෝ (රෙහෙරු)ද, යන මොවුහු එහි (පොකුණෙහි) හැසිරෙමින් මාගේ අසපුව හොබවත්.
4235. “කුම්භිලයෝද, සුංසුමාරයෝද, යන චණ්ඩ ජලජ සත්ත්වයෝද, කැසුබුවෝද, ඔගුහ නම් සත්ත්වයෝද, අප්සරයෝද (පිඹුරෝ)ද, බොහෝ වෙති. ඔවුහු මාගේ අසපුව හොබවත්.
4236. “පරවියෝය, පරවි හංසයෝය, චක්රවාකයෝ (සක්වා ලිහිණියෝ)ය, නදීවරයෝය, දින්දිභයෝ (කීරළු)ය, සාළිකයෝය (සැලලිහිණියෝ)ය යන මොවුහු මෙහි මාගේ අසපුව හොබවත්.
4237. “නයිතාය, අම්බගන්ධීය, කෙතකි (වැටකේ)ය, යන මෙකී වෘක්ෂයෝ පිපීගියාහු එහි දිව සුවඳ මාගේ අසපුව හොබවත්.
4238. “සිංහයෝය, ව්‍යාඝ්‍රයෝය, දිවියෝය, වලස්සුය, කොක්නහවෝය, කරබානා වලස්සුය, යන මොවුහු මහ වෙනෙහි හැසිරෙන්නාහු, මාගේ අසපුව හොබවත්.
4239. “අඳු දිවිසම් හැඳි, ජටාහාරයෙන් බරවූ (තවුසෝ) මහ වෙනෙහි හැසිරෙන්නාහු, මාගේ අසපුව හොබවත්.
4240. “මේ තවුසෝ අඳුන් දිවි සම් දරන්නෝය. ප්රාඥයෝය. සන්හුන් පැවතුම් ඇත්තෝය. අල්පාහාර ඇත්තෝය. ඒ සියල්ලෝ මාගේ අසපුව හොබවත්.
4241. “එකල්හි ඔවුහු පිරිකර බර (කද) ගෙන වනයට පිවිස මුල් හා ගෙඩි අනුභව කරන්නාහු, හැම කල්හි අසපුවෙහි වසත්.
4242. “ඔවුහු දර හෝ, පා දෝනා දිය හෝ ගෙන නොයෙත්. සියල්ලන්ගේ ආනුභාවයෙන් (ඒවා) තෙමේම ගෙන එයි. (පැමිණෙයි.)
4243. “අසූහාරදහසක් ඎෂීහු මෙහි රැස්වූහ. මේ සියල්ලෝම ධ්‍යාන කරන්නෝය. උත්තමාර්ත්‍ථයවූ විමුක්තිය සොයන්නෝය.
4244. “සියල්ලෝ තපස්වීහුය. බ්‍රහ්මචාරීහුය. අර්පණා ව්‍රතයෙහි (සිත) මෙහෙයවූවෝය. අහසෙහි හැසිරෙන්නෝය. එකල් (මොවුහු මාගේ) අසපුවෙහි වෙසෙත්.
4245. “පස් දිනකට වරක් එකඟවූ සන්හුන් පැවතුම් ඇති මොවුහු රැස්වෙති. (රැස්ව) ඔවුනොවුනට වැඳ, ඒ ඒ දිශාභිමුඛවූවාහු, යෙත්.