408. තොදෙය්‍ය ථේරාපදානය
4113. “කෙතුමතී නම් උතුම් නගරයෙහි විජය නම් රජෙක් විය. (හෙතෙම) ශූරය. වික්‍රම සම්පන්නය. එකල්හි හේ (එම කේතුමතී) පුරයෙහි අධිපතිව විසීය.
4114. “ප්‍රමාදවූ එම රජුගේ (දුර්‍වල අවස්ථාව දැන) වනචාරීහු නැගී සිටියහ. සිදුරු සොයන්නෝද, මුඛරයෝද, එකල්හි රට නැසූහ.
4115. “රජතෙම ප්‍රත්‍යන්තය කුපිතවූ කල්හි භටයන්ද, බලසෙනගද එකල්හි වහා රැස්කරවීය. සතුරාට නිග්‍රහද කළේය.
4116. “හස්ත්‍යාරෝහකයෝද, ආරක්‍ෂකයෝද, චර්‍මයෝදීහුද, උග්‍රවූ ධනුර්‍ධරයෝද, යන සියල්ලෝද එකල්හි රැස්වූහ.
4117. “අරක්කැමියෝද, කරනැවෑමියෝද, දියවඩන්නෝද, මල්කරුවෝද, ශූරවූ සංග්‍රාම ඇති සියල්ලෝ එකල්හි රැස්වූහ.
4118. “එකල්හි කඩු ගත් අත් ඇති පුරුෂයෝද, දුනු ගත් අත් ඇත්තෝද, සන්නාහ සන්නද්‍ධයෝද, රෞද්‍රවූ වැද්දෝද යන සංග්‍රාම දිනූ වීරයෝ සියළු දෙනම රැස්වූහ.
4119. “බඳින ලද රන් පොරොදුවලින් අලංකාර කරණ ලද්දාවූ ත්‍රීමද ගලන ඇත්තුද, සැට වයස් ඉක්ම ගිය පිරිහෙන බල ඇති ඇත්තුද යන මේ සියල්ලෝ එකල්හි රැස්වූහ.
4120. “ශීතෝෂ්ණයෙන් ඉවසන, යුද බිමට ආලෝකය දෙන්නාක් වැනිවූ. යුද කිරීමට ආජීවය කොට ඇති, කරණ ලද කටයුතු ඇති සියල්ලෝ එහි රැස්වූහ.
4121. “සක්හඬද, බෙර හඬද, තවත් (නොයෙක්) කම්පා කරන්නාවූ ශබ්දද යන මොවුන්ගෙන් සියල්ලන් සතුටු කරවමින් ඔවුහු එකල්හි රැස්වූහ.
4122. “ත්‍රිශූලය, කොන්තය, මන්ත්‍රය යන මොවුන්ගෙන්ද, කවචයන්ගෙන්ද හා තෝමරයන්ගෙන්ද කොටනු ලබන්නන් හෙළමින් සියල්ලෝ එකල්හි රැස්වූහ.
4123. “ජයගත නොහැකි යුද්‍ධයක් දිනූ එම රජතෙම කෙසේ හෝ එය නිමවා එකල්හි සැටදහසක් ප්‍රාණීන් හුළෙහි තැති ගන්වීය. (තැබවිය.)
4124. “අහෝ රජතෙම, අධාර්මිකය. නිරයෙහි පැසෙන්නාවූ ඔහුගේ (එම දුකෙහි) අවසානය කවදා වන්නේදැයි මනුෂ්‍යයෝ ශබ්ද කළාහුය.
4125. “එකල්හි මම සයනයෙහි පෙරළෙමින් නිරයෙහි (මෙන්) සයනය කරමි. දිවා රෑ දෙක්හි නොදනිමි. මා හුලින් (හුල තබන අයුරින්) තැතිගන්වත්.
4126. “ප්‍රමාදවූ රාජ්‍යයෙන්ද, වාහනයෙන්ද, බලයෙන්ද කවර ප්‍රයෝජනද? ඒ සියල්ලෝ මා (නිරයෙන් වලක්වා) දරන්නට නොපොහොසත් වෙත්. හැම කල්හි මා තැතිගන්වත්.
4127. “පුත්‍රයන්ගෙන් හෝ, අඹුවන්ගෙන් හෝ, සකල රාජ්‍යයෙන් හෝ මට ඇති ප්‍රයෝජන කිම? මම සුගති මාර්‍ගය පිරිසිදු කිරීම සඳහා පැවිදි වන්නෙම් නම් ඉතා මැනවයි සිතීය.
4128. “සියළු අලඞ්කාරයන්ගෙන් සරසන ලද, හෙමවත් ඇඳ රන් පොරොදු බැඳි, සැට දහසක් මාතංග ඇත්තු වූහ.
4129. “ඇතුන්ගේ පා විදිනා තොමර හා අකුසු ගත් අත් ඇති ග්‍රාමණීන් විසින් නගින ලද, සංග්‍රාමවචරවූ (ඒ සියල්ල) අපෙක්‍ෂා රහිතව මම අතහැර දැමීමි. ස්වකීය කර්‍මයෙන් තැති ගත්තේ, අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි නික්ම ගියෙමි.
4130. “සියළු අලංකාරයන්ගෙන් සරසන ලද, ජන්මයෙන්ම ආජාණීයවූ, ශීඝ්‍රවාහී සෛන්‍ධවවූ සැටදහසක් අශ්වයෝ වූහ.
4131. “දුනු (අවි) ගත් අත් ඇති, සන්නාහ සන්නද්‍ධවූ ග්‍රාමණීන් විසින් නගින ලද ඒ සියල්ලද හැර දමා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි නික්ම ගියෙමි.
4132. “ඔසවන ලද ධජ ඇති, සන්නද්‍ධවූ දිවිසමින් වළඳන ලද රථද, ව්‍යාඝ්‍ර සමින් වළඳන ලද රථ දැයි මෙසේ සැට දහසක් රථයෝ වූවාහුද, ඒ සියල්ල හැරදමා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
4133. “කිරි වැගිරෙන බැවින් නිතරම (බුරුළුවල) ලොහෝ බඳුන් දරන සියළු සැට දහසක් දෙන්නු වෙත්ද, එම දෙන්නු හැර දමා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි