407. හේමක ථේරාපදානය
4072. “එකල්හි අනෝම නම් තවුසෙක් තෙම ශෛල පර්‍වතයෙක්හි විවේකයට සුදුසු ස්ථානයක්වූ පබ්භාරයක් ඇසුරුකොට මනා අසපුවක් කොට එම පන්සැලෙහි විසීය.
4073. “ඔහුගේ තපොකර්‍මය සිද්‍ධිප්‍රාප්තය. (එසේම හෙතෙම) ස්වකීය ධ්‍යාන බලයෙහිද සිද්‍ධිප්‍රාප්තය. ස්වීය ශ්‍රාමාණ්‍ය ගුණයෙන් මැඩපවත්වන ලද කෙළෙස් ඇත්තෙක. කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තෙක. ප්‍රාඥයෙක. ඎෂිවරයෙක.
4074. “විශාරදයෙක. ස්වසමය පරසමයන්හි දක්‍ෂයෙක. පොළොවෙහි හා අහසෙහි ප්‍රකට කෙණෙක. උත්පාත ශාස්ත්‍රයෙහි දක්‍ෂයෙක.
4075. “එකල්හි පහවූ ශෝක ඇති, නිරාරම්භකවූ, ස්වල්පාහාරයකින් යැපෙන, ලොල් බැව් නැති, ලාභාලාභ දෙක්හි (සමව) සතුටුවන, ධ්‍යාන ඇති, ධ්‍යානයෙහි ඇළුනාවූ, මෞන ගුණ යුතු,
4076. “සර්‍වඥවූ, අග්‍ර කාරුණීකවූ පියදස්සී නම් ඒ බුදුරජතෙම සත්ත්‍වයන් (සසර සයුරින්) එතර කරනු කැමැත්තේ මහා කරුණාව පැතිරවීය.
4077. “පියදස්සී බුදුරජතෙමේ ධර්‍මාවබෝධයෙහි සමත් කෙනෙකු දැක සක්වලවල් දහසකට වුවද ගොස් (විනෙය්‍ය ජනයනට) අවවාද කරයි.
4078. “ඒ බුදුරජතෙම මා සසර සයුරින් ගොඩලනු කැමැත්තේ මාගේ අසපුවට වැඩිසේක. මා විසින් ඊට පෙර බුදුරජතෙම නොදක්නා ලදී. කිසිවෙකුගෙන් (උන්වහන්සේ ගැන) නොඅසන ලද්දේ වෙමි.
4079. “මම උන්වහන්සේ ගැන උත්පාතය, සුපිනය, ලක්‍ෂණය යන මේ ශාස්ත්‍රයෝ මැනවින් පවසන ලදහ. මම පොළොවෙහි හා අහසෙහි පතළාවූ කෙනෙක් වෙමි. නක්‍ෂත්‍ර පදයන්හිද දක්‍ෂ වෙමි.
4080. “මම ඒ ශාස්ත්‍රයන්ගෙන් බුදුරජුන්ගේ (තොරතුරු) අසා එහි සිත පැහැදවීමි. අනුභව කරමින්ද, හිඳිමින්ද නිතරම (ඒ පිළිබඳව) සිහි කරමි.
4081. “මෙසේ මා සිතන කල්හි බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කරන්නාවූ මට එකෙනෙහි ප්‍රීතිය ඇතිවිය.
4082. “නැවත සුදුසු කාලය එළඹ බුදුරජතෙම මා සමීපයට වැඩි සේක. (එසේ) පැමිණි කල්හිදු මේ මහාමුනිවූ බුදුරජතෙමේයයි නොදනිමි.
4083. “(සත්ත්‍ව ලෝකයට) අනුකම්පා කරන්නාවූ, කාරුණීකවූ පියදස්සී බුදුරජතෙම මම දෙවියන් සහිත ලෝකයෙහි සර්‍වඥ වෙමැයි තෙමේම දැන්වූහ.
4084. “මහාමුනිවූ පියදස්සී බුදුරජුන්යයි හැඳින සිය සිත පහදවා මෙම වචනය කීමි.
4085. “අන්‍යයෝ පුටුවෙහිද, පළඟෙහිද, දික් සඟලා පුටුවෙහිද හිඳිත්. සියල්ල දක්නාවූ බුදුරජාණන් වහන්ස, (ඔබද) රුවන් හසුනෙහි හිඳිනු මැනව.
4086. “(මෙසේ කියා) එකෙනෙහි සර්වරත්නමය පුටුවක් මවා ඎද්‍ධියෙක් නිර්මිතවූ එම පුටුව පියදස්සී බුදුරජුන්හට දුනිමි.
4087. “ඎද්‍ධියෙන් නිර්මිත කරණ ලද රුවන් පුටුවෙහි වැඩහුන් (බුදුරජුන්හට) එකෙණෙහි මම කළයක් පමණවූ ජම්බු ඵලයක් දුනිමි.
4088. “බුදුරජතෙම මාගේ සතුට උපදවමින් (එය) වැළදූ කල්හි සිත පහදවා ශාස්තෘන් වහන්සේ වැන්දෙමි.
4089. “ලොක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ, රුවන් හසුනෙහි වැඩහුන් පියදස්සී භාග්‍යවත් තෙමේ මෙම ගාථාවන් වදාළ සේක.
4090. “යමෙක් මට රුවන් මුවා පුටුවක්ද, අමා වැනි (දඹ) ඵලයක්ද, දුන්නේ නම් හේ (කවරෙක්දැයි) කියන්නෙමි. (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.
4091. “(මෙතෙම) සත් සැත්තෑ කපක් දෙව්ලොව සිත් අලවා වසන්නේය. සත් සැත්තෑ වරක් සක්විති රජ වන්නේය.
4092. “දෙවෙන්‍ද්‍රව දෙතිස් වරක් දිව්‍ය රාජ්‍ය කරන්නේය. (කරවනු ලබන්නාවූ) මහත්වූ ප්‍රදේශ රාජ්‍ය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය.
4093. “රන්මුවාවූද, රිදීමුවාවූද, පියුම රා මිණිමුවාවූද, රුවන්මුවාවූද මැනවින් කළ බොහෝ පර්‍ය්‍යඞ්ක ලබන්නේය.