391. සෙල ථේරාපදානය
3581. “මම හංසවතී නගරයෙහි වීථි ස්වාමියෙක් (වීදියක ප්‍රධානියෙක්) වීමි. මාගේ ඤාතීන් කැඳවා මෙම වචනය කීමි.
3582. “බුදුරජතෙම ලොව පහළවිය. (උන්වහන්සේ) නිරුත්තරවූ පුණ්‍යක්‍ෂෙත්‍රයකි. ලෝවැස්සන්ගේ පූජාවන් පිළිගන්නාවූ (එම සර්‍වඥතෙම) මුළු ලෝකයටම ආශීර්ර්‍වාදයකි.
3583. “ක්‍ෂත්‍රියයෝද, නිගම වාසීහුද, බමුණු මහාසාරයෝද, පහන් සිත් ඇත්තාහු ඔවුහු එකමුතුව සහායවූහ.
3584. “ඇත් සෙනගය, රථ සෙනගය, පාබල සෙනගය, අස් සෙනගය යන සිව්රඟ සෙනගෙහි වූවෝ, පහන් සිත් ඇත්තාහු, සොම්නස්වූවාහු, ඔවුහු (සමගිව) සහායවූහ.
3585. “ක්‍ෂත්‍රියනට දාව, ක්‍ෂුද්‍ර ස්ත්‍රීන්ගේ කුසයෙහි උපන්නෝ (ක්‍ෂුද්‍රයෝ)ද, රාජපුත්‍රයෝ (ක්‍ෂත්‍රියයෝ)ද, වෛශ්‍යයෝද, බ්‍රාහ්මණයෝද, පහන් සිත් ඇත්තාහු, සොම්නස් වූවාහු ඔවුහු සමගිව සහායවූහ.
3586. “අරක්කැමියෝද, සළු වඩන්නේද, දියවඩන්නෝද, මල්කරුවෝද, යන ඔවුහු පහන් සිත් ඇත්තාහු, සොම්නස්වූවාහු සමගිව සහායවූහ.
3587. “රදව්ද, පෙහෙරුද, සෙම්මරුද, කරණැවෑමියෝද, යන ඔවුහු පහන් සිත් ඇත්තාහු, සොම්නස්වුවාහු සමගිව සහායවූහ.
3588. “හී වඩුවෝද, ලියන වඩුවෝද, සම් සාදන්නෝද යන ඔවුහු පහන් සිත් ඇත්තාහු, සොම්නස්වූවාහු සමගිව සහායවූහ.
3589. “එසේම කඹුරෝද, රන් කරුවෝද, ඊයම් වැඩ ලෝකුරුවෝද, යන ඔවුහු පහන් සිත් ඇත්තාහු, සොම්නස්වුවාහු, සමගිව සහායවූහ.
3590. “බැලයෝද, දාසයෝද යන බොහෝ දස් කම්කරුවෝ තම තමන්ගේ බල පමණින් සමගිව සහායවූහ.
3591. “දිය ගෙනෙන්නෝද, දර ගෙනෙනේනෝද, ගොවියෝද, තණ ගෙනෙන්නෝද, තම තමන්ගේ බල පමණින් සමගිව සහායවූහ.
3592. “මල් ගෙන එන්නෝද, මල් ගොතන්නෝද, කොළ එකතු කරන්නෝද, ගෙඩි වර්‍ග ගෙනෙන්නෝද, යන ඔවුහු තම තමන්ගේ බල පමණින් සමගිව සහායවූහ.
3593. “ගණිකාවෝද, කළදැස්සෝද, පූ වෙළෙන්දෝද, මාළු වෙළෙන්දෝද යන ඔවුහු තම තමන්ගේ බල පමණින් සමගිව සහායවූහ.
3594. “ඒ සියල්ලෝ එක්ව එක්රැස්වෙමු. නිරුත්තරවූ පුණ්‍ය ක්‍ෂෙත්‍රයෙහි පින්කමක් කරන්නෙමු” (යයි මම ඔවුනට කීමි.)
3595. “එකෙණෙහි ඔවුහු මාගේ වචනය අසා රැස්වූහ. මැනවින් කටයුතු නිමකළ උවටැන් හලක්ද බික් සඟනට කරවූහ.
3596. “ඔදවැඩියේ, සතුටු සිත් ඇත්තේ, එම ශාලාව නිමවා, එකී හැම දෙන සමග බුදුරජුන් වෙත එළඹියෙමි.
3597. “ලෝකනාථවූ, නර ශ්‍රේෂ්ඨවූ, සම්බුදුරජුන් වෙත එළඹ, ශාස්තෲන් වහන්සේගේ පා වැඳ මෙම වචනය කීමි.
3598. “වීරයන් වහන්ස, මේ තුන්සියයක් පමණවූ පුරුෂයෝ එක්රැස්ව උවටැන් හළක් කරණ ලදී. බුදුරජාණන් වහන්ස, එය (ඔවුහු) ඔබ වහන්සේට පිළිගන්වත්.
3599. “පසැඟ ඇති සර්‍වඥතෙම බික් සඟන හමුයෙහි (එය) පිළිගෙන, තුන්සියයක් දෙනා ඉදිරියෙහි මෙම ගාථාවන් වදාළ සේක.
3600. “මෙම තෙසිය දෙනද, (එහි) ප්‍රධාන තෙමේද, (එක්ව ඔවුනොවුනට) අනුවර්‍තනයවූහ. (එසේම) ඒ සියල්ලෝ (එම පුණ්‍ය) සම්පත්තිය කොට (එහි කුශල විපාක) අනුභව කරන්නාහුය.
3601. “අන්තිම භවය පැමිණි කල්හි නිරුත්තර ශීතභාවයවූ, අජරවූ, අමරවූ, ශාන්තිවූ නිවනද සාක්‍ෂාත් කරන්නාහුය” කියායි.
3602. “ශ්‍රමණයන් අතුරෙන් උතුම්වූ සර්‍වඥ බුදුරජතෙම මේ දැක්වූ අයුරින් වදාථ සේක. මම බුදුරජුන්ගේ වචනය අසා සොම්නස දැක්වීමි.
3603. “මම කල්ප තිස් දහසක් දෙව්ලොව සිත් අලවා විසීමි. දෙවෙනුව, පන්සිය වරක් දිව්‍ය රාජ්‍යය කරවීමි.
3604. “මම දහස්වරක් සක්විති රජ වීමි. දිව්‍ය රාජ්‍යය කරන්නාවූ මට මහ දෙවිවරුද වැන්දාහ.
3605. “මෙම මිනිස් රජයෙහි පිරිස සබඳකම් ඇත්තෝම වූහ. අන්තිම භවය පැමිණි කල්හි වාසෙට්ඨ නම් බමුණෙක් විය.
3606. “මම අසූ කෝටියක් තැන්පත් ධනය ඇති එම වාසෙට්ඨ බමුණාගේ පුත්‍රයෙක් වීමි. “සෙල” යනු මගේ නමයි. ෂඩඞ්ගයෙහි පරතෙරට ගියේද වෙමි.
3607. “ස්වකීය ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුව ජඞ්ඝා විහාරය කරන්නාවූ (සක්මන් කරණ) දළමඩුළු බරින් යුත්, “කෙණිය” නම් තවුසා දැක,
3608. “(ඔහුගේ) පිළියෙළ කරණ ලද යාගය දැක මෙම වචනය කීමි: 'ආවාහයක් වේද? විවාහයක් හෝ වේද? තා විසින් රජතෙමේ හෝ නිමන්ත්‍රණය කරණ ලදුයේ වේද?'
3609. “මම දෙවියන්යයි සම්මත බමුණන් කෙරෙහි පූජාවක් කරනු කැමැත්තේ රජුට නිමන්ත්‍රණය නොකරමි. මාගේ යාගයක්ද නැත.