40. පිළින්දවච්ඡ වග්ග
391. පිළින්දවච්ඡ ථේරාපදානය.
1. “මම හංසවතී නගරයෙහි දොරටුපාලයෙක් වීමි. මාගේ ගෘහයෙහි රැස්කරණලද නිරවුල් අපමණ භෝග සම්පත්ද විය.
2. “මමඑකල්හි පහයෙහි වාඩිවී විවේකීව හිඳ සිත පහදවා මෙසේ සිතීමි.
3. “මා විසින් භොග සම්පත්තීහු ලබන ලදහ. මාගේ අන්තො නගරය සමෘද්‍ධය. පෘථිවීශ්වරවූ ආනන්‍ද රජ තෙමේද (බුදුරජුන් ප්‍රධාන සංඝයාට දානය සඳහා) ආරාධනය කෙළේය.
4. “සර්‍වඥ තෙම ලෝවැඩ සඳහා පහළවන්නේ වේ. මේ (ඒ) සර්‍වඥ තෙම ලොව පහළවිය. මාගේ භොගයොද විද්‍යමාන වෙත්. ශාස්තෘන්වහන්සේට දනක් දෙන්නෙමි.
5. “පදුම නම් රාජ පුත්‍රයා විසින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි උතුම් දානයක් දෙන ලදී. (එම දානයෙහි) හස්තිරාජයන්ද, පර්‍ය්‍යඞ්කයන්ද, හේත්තුවන ඇඳිද යන බොහෝ දේ වෙයි.
6. “මමද උතුම්වූ සංඝයා කෙරෙහි දනක් දුන්නෙමි. අනුන් විසින් නොදුන් විරූ (දෑ දීමෙහි) ආදි කර්මිකයෙක් වන්නෙමි.
7. “යමක් පිළිබඳවූ දීමෙහි සැපවත්වූ විපාකයක් ඇද්ද, මම (ඒ විපාකයන්) නන් අයුරින් සිතා මාගේ අදහස් සපුරාලන පරිෂ්කාර දානය (මේ මේයයි) දුටිමි.
8. “උතුම්වූ සංඝයා කෙරෙහි පිරිකර දෙන්නෙමි. අනුන් විසින් නොදුන් විරූ (දෑ දීමෙහි) ආදි කර්මිකයෙක් වන්නෙමි.
9. “එකෙණෙහි කුළු පොත්තන් (බට ලී කර්‍මාන්ත කරන්නන්) වෙත එළඹ ඡත්‍රයක් කරවීමි. (එබඳු) ඡත්‍ර ලක්‍ෂයක් එක් රැස් කෙළෙමි.
10. “(එසේම) වස්ත්‍ර ලක්‍ෂයක්ද එක් රැස් කෙළෙමි. පාත්‍ර ලක්‍ෂයක්ද එක් රැස් කෙළෙමි.
11. “වෑද, කුඩ, පිහියද, හිඳිකටුද, නියපොතු කපනා පිහියද ඊට සුදුසු ලෙස කරවා කුඩය යට (පැත්තෙහි) එල්බ වීමි.
12. “පවන් අතුද, වටාපත්ද, මොණර පියාපත්ද, සෙමර වල්ගද, පෙරහන්කඩද, තෙල් බඳුන්ද එයට සුදුසු ලෙස කරවීමි.
13. “ඉදිකටු ගුලාද, උරහිසේ එල්ලන (අංසකඩ) පටිද, එසේම හිණ බඳනා පටිද, කුඩා මේස, කනප්ප, පාත්‍ර අඩි ආදී මැනවින් ආධාරකද එයට සුදුසු ලෙස කරවීමි.
14. “පරිභොගයට ගන්නා බඳුන්ද, එසේම ලොහො තලිද, බෙහෙත් (වර්‍ග) වලින් පුරවා මම ඡත්‍රය යට තැබීමි.
15. “වදකසාය, සැවැන්න (විෂ්ණුක්‍රාන්ති) මුල්ය, දඬුවෙල්බෑ මීය, පිප්පිලි නොහොත් පුලිලය, මිරිස්ය, අරළුය, හිඟුරුය යන මේ සියල්ල බඳුන්හි පිරවීමි.
16. “සෙරෙප්පුද, මිරිවැඩිද, එසේම නෑමෙන් පසු දිය පිසනා දිය පිස්නාවන්ද, මැනවින් කළ සරයටිද එයට සුදුසු ලෙස කරවීමි.
17. “බෙහෙත් අඳුන් නාලිකා (භාජනද), (බෙහෙත් ගෑම් ආදිය සඳහා ගන්නා) ලොහොකුරු හෝ උණ පතුරුද, දම් කොතුරු (පැන් කෙණ්ඩිය) ද, කෙසි (යතුරු) ද, පස් වර්‍ණයකින් (පාට පසකින්) වසා කළ කෙසිඟුලා හෙවත් යතුරු දමන කොපුද,
18. “යමක් එල්ලා ගැනීම සඳහා උරහිසේ යොදන පටිද, දුම් (බොන) පයිප්පද, දල්වන පහන්ද නොහොත් පහන් එල්ලන කොකුද, ධාන්‍ය මැනීමට ගන්නා තිඹ නම් මිණුම්ද, කරඬුද එයට සුදුසු ලෙස කරවීමි.