400. අජිත ථේරාපදානය
සියළු ධර්මයාගේ පරතෙරට ගිය ලෝක නායකවූ පදුමුත්තර නම් බුදුරජ තෙම හිමවතට පිවිස වැඩ හුන් සේක.
මම බුදුරජුන් නොදිටිමි. මම (උන්වහන්සේගේ) ශබ්දයද නොඅසමි. එකල්හි (මම) මාගේ ආහාරය සොයමින් වනයෙහි ඇවිදිමි.
එහිදී දෙතිස් මහ පුරිස් ලකූණින් යුතුවූ බුදුරජාණන් වහන්සේ දුටිමි. දැක, “මෙතෙම කිනම් සත්ත්වයෙක් වන්නේදැ” යි සිතක් පහළවිය.
(එම) මහා පුරුෂ ලක්ෂණ බලා මාගේ ලක්ෂණ විද්‍යාව සිහි කෙළෙමි. මා විසින් මේ වෘද්ධවූ පණ්ඩිතයන්ගේ සුභාෂිත වචනය අසන ලද්දේ මැයි.
ඔවුන්ගේ ඒ වචනයට අනුව මෙතෙම බුදුවරයෙක් වන්නේය. මම උන්වහන්සේට සත්කාර කරන්නේ නම් ඉතා යෙහෙක. එයින් මාගේ ගතියද පිරිසිදු වන්නේය.
මම වහා අසපුවට ගොස් මී තෙල් ගතිමි. සැලියක්ද ගෙන බුදුරජුන් වෙත එළඹියෙමි.
මම ත්‍රිදණ්ඩය (පිරිවැජි පුටුව) ගෙන එලිමනනෙහි තැබීමි. එසේම මම පහණ දල්වා අට වරක් වැන්දෙමි.
පුරුෂොත්තමවූ බුදුරජතෙම දිව රෑ සතක් (සතියක්) (එහි) වැඩහුන් සේක. ඉක්බිති රැය අවසන්හි බුදුරජතෙම ඉන් නැගී සිටි සේක.
මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, දිවා රෑ සතක් ප්‍රසන්නවූයේ, සියතින්ම බුදුරජුන්හට පහනක් පිදීමි.
ගන්ධමාදන පර්වතයෙහි සුගන්ධයෙන් කළාක් වැනිවූ සියළු වනයෝ එකල්හි බුද්ධානුභාවයෙන් බුදුරජුන් වෙතටම එළඹියාහුය.
කිසියම් පුෂ්ප සුගන්ධ කෙනෙක් වූවාහුද, පිපුණාවූ වෘක්ෂ කෙණෙක් වූවාහුද, එකල්හි බුද්ධානුභාවයෙන් ඒ සියල්ලෝද රැස්වූහ.
යම්තාක් හිමවතෙහි නාගයෝද, ගුරුළෝද යන මේ දෙවගෙහිවු ඔවුහු ධර්මයද අසනු කැමැත්තාහු, බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණියාහුය.
(එකල්හි) බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකවූ දෙවළ නම් ශ්‍රමණ තෙමේ රහතුන් සියක් දහසක් සමග බුදුරජාණන් වහන්සේගේ සමිපයට එළඹියේය.
ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ පදුමුත්තර බුදුරජතෙම භික්ෂු සඞ්ඝයා මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක.
යමෙක් පහන්වූයේ, සියතින් (ම) මට පහණක් දැල්වූයේද, හේ (කවරක්දැයි) මම පවසන්නෙමි. එය පවසන්නාවූ මාගේ වචනය අසව්.
(හෙතෙම) කල්ප සැටදහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේය. දහස් වරක් සක්විති රජද වන්නේය.
සතිස් වරක් දෙව්ලොව දිව්‍ය රාජ්‍යය කරන්නේය. සත්සිය වරක් මහත්වූ පෘථිවි රාජ්‍යය කරවන්නේය. (එසේම කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍ය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය.
මෙම ප්‍රදීප දානය කරණකොට ගෙන, දිවැස් ඇත්තේ වන්නේය. (එසේම) මෙතෙම හැම කල්හි හාත්පස දුණු දෙසිය පණසක්වූ අර්ධ කොෂයක් දුර දකින්නේය.
දෙව්ලොවින් චුත වන්නාවූද, (අන්තැනක) උපදින්නාවූද, මෙම සත්ත්වයාහට දිවා කල්හි වුවද, රාත්‍රියෙහි වුවද, (ඔහු) ප්‍රදීපයක් දරන්නේය.
(මෙම ප්‍රදීප දානමය) පුණ්‍ය කර්මය හා යෙදී උපදින්නාවූ සත්ත්වයාගේ (එම උපදින) නගරය යම්තාක් වේද, ඒ තාක් එම නගරය බබලන්නේය.
(මෙතෙම) මෙම ප්‍රදීප දානයාගේද, අන්‍යවූ ශිෂ්ඨාචාරයකින් කළ අභිවාදන කර්මයාගේද ඵලයෙන් දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ යම් යෝනියක උපදීනම් (එහිදී) කිසිදු සත්ත්වයෙක් මොහු (පරදවා) ජය නොගන්නේය. ප්‍රදීප දානයාගේ මේ විපාකයයි.
කල්ප සියක් දහසක් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම් ශාස්තෘ තෙමේ ලොව පහළවන්නාහ.