35. මොඝරාජ ථේරාපදානය
“සියල්ල තෙමේම දැනගත්තාවූ, අපරාජිතවූ, අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා විසින් පිරිවරණ ලදුයේ වීථියට පිළිපන් සේක.
මම ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයේ ගෘහයෙන් නික්මුණෙමි. නික්ම ඒ ලෝකනාථයන් වහන්සේ දුටුවෙමි.
සිරසෙහි ඇඳිලි බැඳ, බුදුරජුන් වැඳ, සිය සිත පහදවා, ලෝකනාථයන් වහන්සේට ස්තුති කළෙමි.
“යම් පමණ රූපාවචර බ්‍රහ්මලෝක වාසී සත්ත්‍වයෝ වෙත්ද, එසේම අරූපාවචර බ්‍රහ්මලෝක වාසී සත්ත්‍වයෝද, අසංඥතල සත්ත්‍වයෝ වෙත්ද, ඒ සියල්ලෝ ඔබ වහන්සේගේ ඤාණයෙහි ඇතුළත් වෙත්.
“යමෙක් කුඩා සිදුරු ඇති දැලක් දියෙහි දමන්නේ නම් එවිට දියෙහි යම්කිසි ප්‍රාණී කෙනෙක් වෙත්ද, ඔවුහු දැල ඇතුලෙහි වෙත්.
“රූපී සත්ත්‍වයන් පිළිබඳවූ හෝ, අරූපී සත්ත්‍වයන් පිළිබඳවූ යමෙකුගේ චේතනාවක් ඇත්නම්, ඒ සියළු චේතනාවෝ ඔබ වහන්සේගේ නුවණෙහි ඇතුළත් වෙත්.
“අඳුරෙන් ගැවසීගත් මේ ලෝකයා ඔබ නගා සිටුවූයෙහිය. ඔවුහු ඔබ වහන්සේගේ ධර්‍මය අසා සැකය නැමැති සැඩ පහර තරණය කෙරෙත්.
“ලෝකවාසී සත්ත්‍ව තෙමේ අවිද්‍යාව විසින් වසා ගන්නා ලදී. මෝහාන්‍ධකාරය විසින් වෙළාගන්නා ලදී. ඔබ වහන්සේගේ නුවණ බබළන කල්හි අන්ධකාරය නසන ලද්දේ වෙයි.
“ඔබ සියළු දෙනාගේ මහා මොහාන්‍ධකාරය දුරුකරන්නාවූ ඇසක් වෙහිය. බොහෝ ජන තෙමේ ඔබ වහන්සේගේ ධර්‍මය අසා කෙළෙස් ගින්න නිවා ගනී.”
“නිදොස්වූ කුඩා මධු සැළියක් පුරවා දෙහොතින් ඔසවා ගෙන ගොස් මහර්ෂීන් වහන්සේට පිළිගැන්වීමි.
“මහර්ෂීවූ, මහාවීරවූ, බුදුරජ තෙම සිය අතින් එය පිළිගෙන අනුභවකොට සර්වඥයන් වහන්සේ අහසට නැංගේය.
“අහසෙහි සිටියාවූ, නරශ්‍රේෂ්ඨවූ, අත්‍ථදස්සී ශාස්තෘතෙම මාගේ සිත පහදවමින් මෙම ගාථාවන් දෙසීය.
“මේ ඥානය යමෙකු විසින් පසසන ලදද, බුද්‍ධශ්‍රේෂඨතෙමේද යමෙකු විසින් තුති කරණ ලදද, හෙතෙම එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙන දුගතියකට නොයයි.
“හෙතෙම තුදුස් වරක් දෙව්ලොව රාජ්‍යය කරන්නේය. අටසිය වරක් පෘථිවි රාජ්‍යය කොට පොළොවෙහි වාසය කරන්නේය.
“ඉක්බිති පන්සිය වරක් සක්විති රජ වන්නේය. පෘථිවියෙහි අසංඛ්‍ය වාර ගණනක් ප්‍රදේශ රාජ්‍යය කරවන්නේය.
“වේද හදාරන්නාවූ, මන්ත්‍රධරවූ, වේදත්‍රයෙහි පරතෙරට ගියාවු හෙතෙම ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේය.
“ගැඹුරුවූ සියුම්වූ අර්ත්‍ථ නුවණින් විමසන්නේය. හෙතෙම නමින් මෝඝරාජ යයි ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය.
“ත්‍රි විද්‍යාවන්ගෙන් යුක්තවූ, කොට නිමවන ලද කටයුතු ඇති, ආශ්‍රව රහිතවූ ඔහු සාර්ත්‍ථවාහකවූ ගෞතම බුදුරජ තෙමේ අග්‍ර පදවියෙහි තබන්නේය.”
“මිනිස් යෙදුම් හැර, භව බැඳුම් සිඳ, සියළු ආශ්‍රවයන් පිරිසිඳ දැන, ආශ්‍රව රහිතව වෙසෙමි.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මොඝරාජ තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මොඝරාජ තෙරුන්ගේ අපදානය පස්වැනියි.
36. අධිමුත්තක ථේරාපදානය
“මනුෂ්‍යොත්තමවූ අත්‍ථදස්සී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි මම පැහැදුනු සිතින් යුතුව භික්‍ෂු සංඝයාට උපස්ථාන කෙළෙමි.
“ඎජු ගුණයෙන් යුත්, සමාහිතවූ සංඝරත්නය ආරාධනා කොට, උක්වලින් මඩුවක් කරවා, උතුම් සංඝයා වැළඳවීමි.
“දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම් යම් යෝනියක උපදිම් නම් ඒ සියල්ලන් අභිභවනය කරමි. මේ පුණ්‍ය කර්මයාගේ ඵලයයි.
“කල්ප එක් දහස් අටසියයකට පෙරවූ එකල්හි යම් දනක් දුනිම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. උක් දනෙහි මේ විපාකයයි.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අධිමුත්තක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අධිමුත්තක තෙරුන්ගේ අපදානය සවැනියි.
37. ලසුණදායක ථේරාපදානය
“මම එකල්හි හිමවතට නුදුරු තන්හි තවුසෙක් වීමි. ළුහුණු ආහාර කොටගෙන ජීවත් වෙමි. මාගේ භෝජනය ළුහුණුය.
“මම කදක් පුරවාගෙන සඞ්ඝාරාමයට ගියෙමි. සතුටු සිතින්ම සංඝයාට ළුහුණු දුනිමි.