36. අධිමුත්තක ථේරාපදානය
“මනුෂ්‍යොත්තමවූ අත්‍ථදස්සී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි මම පැහැදුනු සිතින් යුතුව භික්‍ෂු සංඝයාට උපස්ථාන කෙළෙමි.
“ඎජු ගුණයෙන් යුත්, සමාහිතවූ සංඝරත්නය ආරාධනා කොට, උක්වලින් මඩුවක් කරවා, උතුම් සංඝයා වැළඳවීමි.
“දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම් යම් යෝනියක උපදිම් නම් ඒ සියල්ලන් අභිභවනය කරමි. මේ පුණ්‍ය කර්මයාගේ ඵලයයි.
“කල්ප එක් දහස් අටසියයකට පෙරවූ එකල්හි යම් දනක් දුනිම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. උක් දනෙහි මේ විපාකයයි.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අධිමුත්තක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අධිමුත්තක තෙරුන්ගේ අපදානය සවැනියි.
37. ලසුණදායක ථේරාපදානය
“මම එකල්හි හිමවතට නුදුරු තන්හි තවුසෙක් වීමි. ළුහුණු ආහාර කොටගෙන ජීවත් වෙමි. මාගේ භෝජනය ළුහුණුය.
“මම කදක් පුරවාගෙන සඞ්ඝාරාමයට ගියෙමි. සතුටු සිතින්ම සංඝයාට ළුහුණු දුනිමි.
“මම විපස්සි නරශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සසුනෙහි නිරතවු සංඝයාට ළුහුණු දී කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටුවීමි.
“මින් එකානූවන කල්පයෙහිවූ එකල්හි මම යම් ළුහුණු දනක් දුනිම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. ළුහුණු දානයාගේ මේ විපාකයි.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ලසුණදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ලසුණදායක තෙරුන්ගේ අපදානය සත්වැනියි.
38. ආයාගදායක ථේරාපදානය
“කථා කරන්නවුන් අතුරෙහි උතුම්වූ සිඛී බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි මම සතුටුවූයේ, සතුටු සිතින් උතුම් ථූපය වැන්දෙමි.
“මම එකල්හි වඩුවන් සමග කථාකොට මුදල් දී සතුටුවූයේ, සතුටු සිතින් ආයාගයක් (දිගු සලක්) කරවීමි.
“ඒ හේතුවෙන් මම අට කපක් නොකඩකොට දෙව්ලොව විසීමි. සෙසු කල්පයන්හි මිශ්‍ර ලෙස සැරි සැරීමි.
“මාගේ කයෙහි විෂ ඇතුළු නොවේ. ආයුධ මා නොනසත්. දියෙහි මම නොමැරෙමි. ආයාග දානයාගේ මේ විපාකයයි.
“ඉදින් මම වැස්ස කැමතිවෙම් නම් මහ වැසි වසින්නේය. දෙවියෝද මාගේ වසඟයට පැමිණෙත්. පුණ්‍ය කර්‍මයාගේ මේ විපාකයයි.
“මම තිස් වරක් සත් රුවනින් යුක්තවූ සක්විති රජ වීමි. මට කිසිවෙක් අවඥා නොකෙරෙත්. පුණ්‍ය කර්මයාගේ මේ විපාකයයි.
“මින් තිස් එක්වන කල්පයෙහි මම යම් ආයාගයක් කරවීම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. ආයාග දානයාගේ මේ විපාකයයි.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආයාගදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ආයාගදායක තෙරුන්ගේ අපදානය අටවැනියි.
39. ධම්මචක්කික ථේරාපදානය
“සිද්‍ධාර්ත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මාසනය ඉදිරියෙහි මා විසින් මැනවින් කරණ ලද, නුවණැත්තවුන් විසින් වර්‍ණනා කරණ ලද ධර්ම චක්‍රයක් තබන ලදී.