34. කාළුදායී ථේරාපදානය
“මම එකල්හි ලොක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති, මහමගට පිළිපන්, චාරිකාවෙහි හැසිරෙන්නාවූ, ශාස්තෘවූ, පදුමුත්තර බුදුරජාණන් වහන්සේට (එළඹියෙමි).
“මැනවින් පිපුණු පියුම්ද, උපුල්ද, බෝලිද්ද මල්ද, පරමාන්නයද (කිරිබත්) ගෙන, මම ශාස්තෲන් වහන්සේට දුනිමි.
“මහාවීර තෙම උතුම් ආහාරය වූ මනා භෝජනය වළඳයි. ඒ මල්ද ගෙන මහජනයාට දැක්වීය. (කෙසේද යත්?)
“(මේවා) ලෝකයෙහි ඉෂ්ටවූ, මනවඩන්නාවූ, ප්‍රියවූ උතුම් ජලජ (ජලයෙහි හටගන්නාවූ) පුෂ්පයෝ වෙති. යමෙක් තෙම මට මේ මල් දුන්නේද, ඔහු විසින් ඉතා දුෂ්කර පින්කමක් කරණ ලදී.
“යමෙක් මට මල් නගා දුන්නේද, උතුම්වූ ආහාරය දුන්නේද, ඔහු (කවරෙක්දැයි) මම කියන්නෙමි. කියන්නාවූ මාගේ වචනය අසව් (කෙසේදයත්?)
“හෙතෙම අටලොස් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය. උපුල්ද, පියුම්ද, බෝලිද්දද, එයටද වැඩි (දේ ලබන්නේය).
“ඔහුගේ පුණ්‍ය විපාකයෙන් දිව්‍යමය සුගන්‍ධයෙන් යුතුව අහසෙහි වියනක් කොට දරන්නේය.
“පස්විසි වරක් සක්විති රජ වන්නේය. පන්සිය වරක් පෘථිවි රාජ්‍යය ලබා පොළොවෙහි වසන්නේය.
“(මින්) කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම් වූ, ශාස්තෘතෙම ලොව පහළවන්නේය.
“කුශල මූලයෙන් මෙහෙයන ලද ස්වකිය කටයුතු පටන්ගත් හෙතෙම ශාක්‍යයින්ගේ සතුට ඇතිකරන්නාවූ නෑ සබඳකම් ඇත්තෙක් වන්නේය.
“කුශලමූලයෙන් මෙහෙයන ලද හෙතෙම පසුව පැවිදිව සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන (දුරුකොට) ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.
“ලොක බන්ධුවූ ගෞතම බුදුරජාණන් වහන්සේ පැමිණි (සිව්) පිළිසිඹියාවන් ඇතිකරණලද කටයුතු ඇති ආශ්‍රව රහිතවූ හේ අග්‍ර පදවියෙහි තබන්නේය.
“වීර්‍ය්‍ය වැඩූ, නිවණ කෙරහි මෙහෙයූ සිත් ඇති, උපශාන්තවූ, උපධි රහිතවූ, හෙතෙම නම්න් උදායී නම් වූ බුද්‍ධශ්‍රාවකයෙක් වන්නේය.” කියායි.
“රාගයද, ද්වේෂයද, මෝහයද, මක්ඛය (ගුණමතු බව) ද, විනාශ කරණ ලදුයේ, සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥාවෙන් දැන (දුරුකොට) ආශ්‍රව රහිතව වෙසෙමි.
“කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, ප්‍රඥාවත්වූ, මම බුදුරජාණන් වහන්සේ සතුටු කෙළෙමි. ප්‍රමුදිතවූ බුදුරජ තෙම මා අග්‍ර පදවියෙහි තැබීය.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කාළුදායී තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කාළුදායිත්ථෙරස්සාපදානං චතුත්ථං.
35. මොඝරාජ ථේරාපදානය
“සියල්ල තෙමේම දැනගත්තාවූ, අපරාජිතවූ, අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා විසින් පිරිවරණ ලදුයේ වීථියට පිළිපන් සේක.
මම ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයේ ගෘහයෙන් නික්මුණෙමි. නික්ම ඒ ලෝකනාථයන් වහන්සේ දුටුවෙමි.
සිරසෙහි ඇඳිලි බැඳ, බුදුරජුන් වැඳ, සිය සිත පහදවා, ලෝකනාථයන් වහන්සේට ස්තුති කළෙමි.
“යම් පමණ රූපාවචර බ්‍රහ්මලෝක වාසී සත්ත්‍වයෝ වෙත්ද, එසේම අරූපාවචර බ්‍රහ්මලෝක වාසී සත්ත්‍වයෝද, අසංඥතල සත්ත්‍වයෝ වෙත්ද, ඒ සියල්ලෝ ඔබ වහන්සේගේ ඤාණයෙහි ඇතුළත් වෙත්.
“යමෙක් කුඩා සිදුරු ඇති දැලක් දියෙහි දමන්නේ නම් එවිට දියෙහි යම්කිසි ප්‍රාණී කෙනෙක් වෙත්ද, ඔවුහු දැල ඇතුලෙහි වෙත්.
“රූපී සත්ත්‍වයන් පිළිබඳවූ හෝ, අරූපී සත්ත්‍වයන් පිළිබඳවූ යමෙකුගේ චේතනාවක් ඇත්නම්, ඒ සියළු චේතනාවෝ ඔබ වහන්සේගේ නුවණෙහි ඇතුළත් වෙත්.
“අඳුරෙන් ගැවසීගත් මේ ලෝකයා ඔබ නගා සිටුවූයෙහිය. ඔවුහු ඔබ වහන්සේගේ ධර්‍මය අසා සැකය නැමැති සැඩ පහර තරණය කෙරෙත්.
“ලෝකවාසී සත්ත්‍ව තෙමේ අවිද්‍යාව විසින් වසා ගන්නා ලදී. මෝහාන්‍ධකාරය විසින් වෙළාගන්නා ලදී. ඔබ වහන්සේගේ නුවණ බබළන කල්හි අන්ධකාරය නසන ලද්දේ වෙයි.
“ඔබ සියළු දෙනාගේ මහා මොහාන්‍ධකාරය දුරුකරන්නාවූ ඇසක් වෙහිය. බොහෝ ජන තෙමේ ඔබ වහන්සේගේ ධර්‍මය අසා කෙළෙස් ගින්න නිවා ගනී.”
“නිදොස්වූ කුඩා මධු සැළියක් පුරවා දෙහොතින් ඔසවා ගෙන ගොස් මහර්ෂීන් වහන්සේට පිළිගැන්වීමි.
“මහර්ෂීවූ, මහාවීරවූ, බුදුරජ තෙම සිය අතින් එය පිළිගෙන අනුභවකොට සර්වඥයන් වහන්සේ අහසට නැංගේය.
“අහසෙහි සිටියාවූ, නරශ්‍රේෂ්ඨවූ, අත්‍ථදස්සී ශාස්තෘතෙම මාගේ සිත පහදවමින් මෙම ගාථාවන් දෙසීය.
“මේ ඥානය යමෙකු විසින් පසසන ලදද, බුද්‍ධශ්‍රේෂඨතෙමේද යමෙකු විසින් තුති කරණ ලදද, හෙතෙම එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙන දුගතියකට නොයයි.
“හෙතෙම තුදුස් වරක් දෙව්ලොව රාජ්‍යය කරන්නේය. අටසිය වරක් පෘථිවි රාජ්‍යය කොට පොළොවෙහි වාසය කරන්නේය.