372. පාටලිපුප්ඵිය ථේරාපදානය
“සියල්ල තෙමේම අවබෝධ කළවූ, අග්‍ර පුද්ගලවූ, පස්මරුන් ජයගත්, විපස්සී නම් භාග්‍යවතුන් වහන්සේ, ස්වකීය ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයේ, බන්‍ධුම නගරයට පිවිසි සේක.
“මා විසින් පළොල් මල් තුනක් ඔඩොක්කුවෙහි තබන ලද්දේ. (ඒ) මම හිස පටන් නගනු කැමැත්තේ ගංතෙරට ගියෙමි.
“බන්‍ධුමතී නගරයෙන් නික්ම වඩින්නාවූ, මහනිල් මලක් මෙන් බබලන, ඇවිලගත් ගින්නක් වැනිවූ ලෝකනායකවූ බුදුරජුන් දුටිමි.
“ශ්‍රේෂ්ඨ ව්‍යාඝ්‍රයෙකු මෙන්වූ, උතුම්වූ, විශිෂ්ඨ ජන්ම ඇති, සිංහයෙකු වැනිවූ, ශ්‍රමණයනට අග්‍රවූ, භික්‍ෂු සංඝයා විසින් පිරිවරන ලද (බුදුරජුන් දුටිමි).
“කෙළස් මල දෝනාවූ, ඒ බුදුරජුන් කෙරෙහි පැහැදුනේ, (එම පළොල්) මල් තුන ගෙන බුද්ධ හ්‍රෙෂ්ඨයන් වහන්සේ පිදීමි.
“මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාටලීපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පාටලිපුප්ඵියත්ථෙරස්සාපදානං දුතියං.
373. තිඋප්පලමාලිය ථේරාපදානය
“මම චන්‍ද්‍රභාග නදී තීරයෙහි වඳුරෙක් වීමි. එකල්හි කඳු අතරෙහි වැඩහුන් කෙළෙස් රජස් නැති බුදුරජුන් දුටිමි.
“සියළු දිගුන් බබුළුවන්නාවූ, පිපුණු සල් රුකක් වැනිවූ, (දෙතිස් මහ පුරිස්) ලකුණින් හා (අසූ) අනුව්‍යඤ්ජනයන්ගෙන් යුත් (උන්වහන්සේ) දැක සතුටුවූ මම,
“ඔදවැඩි සිත් ඇත්තේ, සොම්නස්වූයේ, ප්‍රීතියෙන් පිනාගිය සිත් ඇත්තේ, උපුල් මල් තුනක් හිස මත (අහසෙහි දමා) පිදීමි.
“මම ඵුස්ස බුදුරජුන්හට (එම) මල් පුදා, ගෞරව සහිතව උතුරු දෙසට මුහුණ ලා ගියෙමි.
“පැහැදි සිතින් යුතුව යන්නේ, කඳු අතරෙහි වැටී ජීවිතක්‍ෂයට පත්වීමි.
“මැනවින් කරණ ලද එම පුණ්‍ය කර්‍මය කරණකොටගෙනද, සිතෙහි ඇතිවූ ප්‍රාර්ත්‍ථනාවන් කරණකොටගෙනද, මම පළමු ජාතිය හෙවත් එම ආත්මය හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
“තුන්සිය වරක් දිව්‍ය රාජ්‍යය කරවීමි. (එසේම) මම පන්සිය වරක් සක්විති රජ වීමි.
“මින් දෙයානූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිඋප්පලමාලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තීණුප්පලමාලියත්ථෙරස්සාපදානං තතියං.
374. පට්ටිපුප්ඵිය ථේරාපදානය
“යම් කලෙක්හි මහර්ෂීවූ පදුමුත්තර බුදුරජ තෙම පිරිනිවන් පෑ සේක්ද, එකල්හි සියළුම මහජනයා එකතුව උන්වහන්සේගේ ශ්‍රී දේහය ගෙන යත්.
“(එසේ) බෙර වයද්දී ශ්‍රී ශරීරය ගෙය යන කල්හි පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, මම පට්ටි පුෂ්පයක් පිදීමි.
“මින් සියක් දහස් (ලක්‍ෂයක්) වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ශ්‍රී දේහය පිදූ කල්හි (ලැබෙන මේ) විපාකයයි.