348. තිණමුට්ඨිදායක ථේරාපදානය
“හිමවතට නුදුරෙහි ලම්බක නම් පර්‍වතයක් විය. එහි උපතිස්ස නම් බුදුරජ තෙම එලිමහනෙහි සක්මන් කළ සේක.
“එකල්හි මම මහ වනයෙහි මුව වැද්දෙක් වීමි. එහිදී දෙවියනට දෙවිවූ, සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස්මරුන් දිනූ, එම බුදුරදුන් දැක,
“එකල්හි මම පැහැදි සිතින් එම බුදුරදුන්හට වැඩ හිඳීම පිණිස තණ මිටක් දුනිමි.
“දේවාති දේව වූ බුදුරදුන්හට එය දී බෙහෙවින් සිත පැහැදවීමි. ඉක්බිති සම්බුදුරදුන් වැඳ, උතුරු දිගට මුහුණ ලා ගියෙමි.
“එසේ ගිය නොබෝ වේලාවකින් සිංහයෙක් මා පෙළීය. සිංහයා විසින් බිම පෙරළන ලද මම එහි කළුරිය කළේ වෙමි.
“ආශ්‍රව රහිතවූ, බුද්ධ ශ්‍රේෂඨයන්වූ උන්වහන්සේ විෂයෙහි මරණාසන්නයෙහි මා විසින් කරන ලද කර්‍මය කරණකොටගෙන මම දුන්නෙන් මුදන ලද වේගවත් හීයත් මෙන් දෙව්ලොවට ගියෙමි.
“එහි මාගේ පුණ්‍ය කර්‍මයාගෙන් නිර්මිතවූ ශෝභන ප්‍රාසාදයෙක් විය. එහි දහසක් කොටස් බෙදුම් ඇත්තේය. සියයක් ගෝලාකාරවූ මුදුන් ඇත්තේය. එම මුදුන්වල එල්ලන ලද ධජද ඇත්තේය. කොළවන් පැහැයෙන් යුක්තය.
“උදාවූ හිරු මෙන් එම ප්‍රාසාදයාගේ රශ්මියද පැතිරෙයි. මම එහි දිව්‍ය කන්‍යාවන් විසින් පිරිවරන ලදුයේ, කැමති පරිදි සතුටුවීමි.
“එම කුශල කර්‍මයෙන් මෙහෙයන ලදුයේ, දෙව් ලොවින් චුතව අවුත් මිනිස් භවයට පැමිණ ආශ්‍රවක්‍ෂයට පැමිණියේ වෙමි.
“මම මින් සිව් අනූවන කපෙහි හිඳීමට තණ මිටක් දුනිමි. ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. තණ මිටක් දීමෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණමුඨිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තිණමුට්ඨිදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.
349. තින්දුකඵලදායක ථේරාපදානය
“කඳු අතරෙහි වැඩහුන්නාවූ, කිණිහිරි රුකක් මෙන් බබලන ධර්‍මයන් තරණය කළාවූ, ආශ්‍රව රහිතවූ වෙස්සභූ බුදුරජුන් දුටුවෙමි.
“ගෙඩි සහිත තිඹිරි ගසක් දැක එය කිණිති සහිතව බිඳ, පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, මම වෙස්සභූ බුදුරජුන්හට දුනිමි.
“මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් තිඹිරි ගෙඩි දනක් දුනිම්ද, එකල්හි ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තින්‍දුකඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තින්දුකඵලදායකත්ථෙරස්සාපදානං නවමං.
350. එකඤ්ජලිය ථේරාපදානය
“එකල්හි රෙවත නම් සර්‍වඥ තෙම ගංගා තීරයෙහි විසූහ. මම කෙළෙස් රජස් විරහිතවූ පීතවර්‍ණ රැස් ඇති හිරු වැනිවුද එම බුදුරජුන් දිටිමි.
“කෝවයෙහි ලා තබා පිරිසිදු කළ ස්වර්‍ණයක් වැනිවූද, ඇවිලෙන කිහිරඟුරු මෙන් දීප්තිමත්වූද, බබලන්නාවූද, ඔසධි තාරකාවක් වැනිවූද එම බුදුරජුන් දැක මම එක අඤ්ජලියක් කෙළෙමි.
“මින් සිව් අනූවන කපෙහි මම යම් ඇඳීලි බැඳීමක් කෙලෙම්ද ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. ඇඳිලි බැඳීමෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකඤ්ජලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකඤ්ජලියත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
පදුමිය, උප්පලමාලිය, ධජදායක, කිඞ්කිණිපූජක, නළාගාරික, චම්පක, පදුම, තිණමුට්ඨි, තින්දුක සහ එකඤ්ජලිය ද යන මෙහි ගාථා හැට හයක් ඇති බව නුවණැත්තන් විසින් දතයුතුයි.
එකපදුමියවග්ගො පඤ්චතිංසතිමො.