349. තින්දුකඵලදායක ථේරාපදානය
“කඳු අතරෙහි වැඩහුන්නාවූ, කිණිහිරි රුකක් මෙන් බබලන ධර්මයන් තරණය කළාවූ, ආශ්රව රහිතවූ වෙස්සභූ බුදුරජුන් දුටුවෙමි.
“ගෙඩි සහිත තිඹිරි ගසක් දැක එය කිණිති සහිතව බිඳ, පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, මම වෙස්සභූ බුදුරජුන්හට දුනිමි.
“මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් තිඹිරි ගෙඩි දනක් දුනිම්ද, එකල්හි ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තින්දුකඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තින්දුකඵලදායකත්ථෙරස්සාපදානං නවමං.
350. එකඤ්ජලිය ථේරාපදානය
“එකල්හි රෙවත නම් සර්වඥ තෙම ගංගා තීරයෙහි විසූහ. මම කෙළෙස් රජස් විරහිතවූ පීතවර්ණ රැස් ඇති හිරු වැනිවුද එම බුදුරජුන් දිටිමි.
“කෝවයෙහි ලා තබා පිරිසිදු කළ ස්වර්ණයක් වැනිවූද, ඇවිලෙන කිහිරඟුරු මෙන් දීප්තිමත්වූද, බබලන්නාවූද, ඔසධි තාරකාවක් වැනිවූද එම බුදුරජුන් දැක මම එක අඤ්ජලියක් කෙළෙමි.
“මින් සිව් අනූවන කපෙහි මම යම් ඇඳීලි බැඳීමක් කෙලෙම්ද ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. ඇඳිලි බැඳීමෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකඤ්ජලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකඤ්ජලියත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
පදුමිය, උප්පලමාලිය, ධජදායක, කිඞ්කිණිපූජක, නළාගාරික, චම්පක, පදුම, තිණමුට්ඨි, තින්දුක සහ එකඤ්ජලිය ද යන මෙහි ගාථා හැට හයක් ඇති බව නුවණැත්තන් විසින් දතයුතුයි.
එකපදුමියවග්ගො පඤ්චතිංසතිමො.
36. සද්ද සඤ්ඤක වග්ග
351. සද්ද සඤ්ඤක ථේරාපදානය
මම පෙර මහ වනයෙහි මුව වැද්දෙක් වීමි. එහිදී දිව්ය සමූහයා විසින් පිරිවරනලද සම්බුදුරදුන් දිටිමි.
චතුස්සත්ය දේශනා කරන්නාවූ, මහාජනයා සසර සයුරින් ගොඩනගන්නාවූ, (උන්වහන්සේගේ) කොවුල් හඬට හුරු මිහිරි වචන ඇසීමි.
බ්රහ්ම ස්වරය ඇති, ලොක බන්ධූවූ සිඛී බුදුරජුන්ගේ හඬෙහි සිත පහදවා ආශ්රවක්ෂයට (රහත් බවට) පැමිණියේ වෙමි.
මින් එක් තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (බුද්ධ ස්වරයෙහි) පැහැදීමෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සද්දසඤ්ඤකත්ථෙරස්සාපදානං පඨමං.
352. යවකලාපිය ථේරාපදානය
එකල්හි (මම) අරුණවතී නගරයෙහි යව කෙත් රකින්නෙක් වීමි. මගදී බුදුරජුන් දැක (උන්වහන්සේට වැඩහිඳීම සඳහා) යව (කරල්) මිටියක් (බිම) ඇතිරීමි.
අනුකම්පාව ඇති, කාරුණීකවූ සිඛී බුදුරජ තෙම මාගේ අදහස දැන එම (යව) ඇතිරියෙහි වැඩහුන් සේක.
එසේ වැඩහුන්නාවූ, නිර්මලවූ, මහා ධ්යාන ඇති, අසහාය නායකවූ (බුදුරජුන්) දැක සතුට උපදවා මම එහි කළුරිය කෙළෙමි.
මින් සත් තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. යව ඇතිරි දනෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් යවකලාපිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
යවකලාපියත්ථෙරස්සාපදානං දුතියං.