341. එකපදුමිය ථේරාපදානය
“සියළු ධර්‍මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර සර්‍වඥ තෙමේ භවයාගේ අභාව නම්වූ නිවන පවසමින් බොහෝ ජනයා සසර සයුරින් එතර කළ සේක.
“එකල්හි මම පක්‍ෂීන්හට උත්තමවූ හංසරාජයෙක් වෙමි. ස්වයංජාත විලකට බැස හංස ක්‍රීඩා කරමි.
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, පස් මරුන් දිනූ, පදුමුත්තර බුදුරජතෙම එකෙණෙහි එම සවයංජාත විල මතුයෙහි වැඩිය සේක.
“මම දෙවියනට දෙවිවූ, සියල්ල තෙමේම අවබෝධ කරගත්, බුදුරජුන් දැක, මනරම්වූ සියපත් පියුමක් නටුවෙන් කඩා,
“බුදුරජුන් කෙරෙහි පහන්වූයේ, හොටින් ගෙන ඔසවා, අහසෙහි වැඩ සිටි එම බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට පිදීමි.
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, ශාස්තෲවූ, පදුමුත්තර බුදුරජතෙම අහසෙහි වැඩ සිටියේ, මාහට මේ අනුමෝදනාව කළ සේක.
“මෙම එකම පියුම පිදීමෙන්ද, චිත්ත ප්‍රණිධීන්ද කරණකොට ගෙන කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි විනිපාත නම්වූ දුගතියකට නොයන්නෙහිය.”
“පදුමුත්තර නම්වූ සර්‍වඥතෙම මෙම අනුමෝදනා වචන වදාරා, මාගේ කර්‍මය පවසා අභිමත පරිදි වැඩමවූ සේක.
“මින් පෙර ලක්‍ෂයක් වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකපදුමිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකපදුමියත්ථෙරස්සාපදානං පඨමං.
342. තිඋප්පලමාලිය ථේරාපදානය
“මම එකල්හි චන්‍ද්‍රභාග නදී තීරයෙහි වඳුරෙක් වීමි. එහිදී කඳු අතුරෙහි වැඩහුන් කෙළෙස් රජස් නැති බුදුරජුන් දුටිමි.
“දස දිගින් බබුළුවන්නාවූ, පිපීගිය උතුම්වූ සල් රුකක් වැනි ලකුණින් හා අනු ව්‍යඤ්ජනයන්ගෙන් යුත් බුදුරජුන් දැක සතුටු වීමි.
“ඔදවැඩි සිත් ඇත්තේ, සොම්නස්වූයේ, ප්‍රීතියෙන් පිනා ගියේ, උපුල් මල් තුනක් මතුයෙහි දමා පිදීමි.
“විපස්සී බුදුජුන්හට මෙම මල් පුදා, ගෞරව සහිතව ගොස් උතුරු දිගට මුහුණ ලා ගියෙමි.
“පැහැදි සිතින් සීඝ්‍රව යන්නේ, කඳු අතුරෙහි වැටී ජිවිතක්‍ෂයට පැමිණියෙමි.
“මැනවින් කරණලද එම කර්‍මය කරණකොට ගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණ කොට ගෙනද, මිනිස් සිරුර හැර මම තව්තිසා දෙව් ලොවට ගියෙමි.
“මම තුන්සිය වරක් දිව්‍ය රාජ්‍යය කෙළෙමි. පන්සිය වරක් සක්විති රජ වීමි.
“මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කරණ ලදද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිඋප්පලමාලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තීණුප්පලමාලියත්ථෙරස්සාපදානං දුතියං.
343. ධජදායක ථේරාපදානය
“ලොක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, තිස්ස නම් ශාස්තෘ තෙමේ ලොව පහළ විය. උන්වහන්සේගේ උපධික්‍ෂය දැක මා විසින් ධජයක් නගන ලදී.
“මැනවින් කරණ ලද එම කර්‍මය කරණ කොට ගෙනද මම මිනිස් සිරුර හැර තව්තිසාවට ගියෙමි.
“මම තුන්සිය වරක් දිව්‍ය රාජයය කරවීමි. එසේම, පන්සිය වරක් සක්විති රජ වීමි.