337. තිණකුටිදායක ථේරාපදානය.
“මම බන්ධුමතී නගරයෙහි අනුන්ගේ බැල මෙහෙ කිරීමෙහි යෙදුනේ, අනුන්ගේ බත් වැටුප් බලාපොරොත්තු වන්නේ, පරකාර්මිකයෙක් හෙවත් අනුන්ගේ බැල මෙහෙවර කරන්නෙක් වීමි.
“මම එකල්හි රහසිගතව (විවේකයෙන්) හිඳ මෙසේ සිතීමි: ‘බුදුරජ තෙම ලොව පහළවූහ. මට පිනක්ද නැත.’
“මාගේ පැවැත්ම පිරිසිදු කරගන්නට මේ කාලයයි. මා විසින් (අෂ්ට දුෂ්ටක්ෂන විනිර්මුක්ත) සුදුසු මොහොත පිළියෙළකොට (ලැබ) ගන්නා ලදී. පින් නොකළ සතුනට (ලැබෙන) නිරයෙහි පහස දුකය කියායි.”
“මම මෙසේ සිතා මට වැඩ දෙන ස්වාමියා වෙත එළඹියෙමි. මම එක දිනක වැඩ ඉල්වාගෙන වනයට පිවිසියෙමි.
“මම එකල්හි තණ (කොළ) ද, ලීද, වැල්ද ගෙනවුත් ත්රිදණ්ඩකයෙහිද (කතිර සිටින සේ එකට බැඳි දඬු තුනෙහි) තබා මම (එහි) තෘණ කුටියක් කෙළෙමි.
“මම සංඝයා පිණිස කළ එම කුටිය පිළිගන්වා, එදවස්හිම අවුත් වැඩ දෙන ස්වාමියා (කර්ම ස්වාමියා) වෙත එළඹියෙමි.
“මම මැනවින් කරනලද එම කර්මය කරණකොටගෙන තව්තිසා දෙව්ලොවට ගියෙමි. එහි මට (සංඝයාට පිළිගැන්වූ) තෘණකුටිය වෙනුවට මැනවින් කරණ ලද මැවූ (දිව්‍ය) විමානයක් විය.
“දහසක් කොටස් (බෙදුම්) ඇති, සියයක් ගෝලාකාර මුදුන් ඇති, ධජයන්ගෙන් කොළවන්වූ ඒ මාගේ මහා ප්‍රාසාදයෙහි (විමානයෙහි) සියක් දහසක් දොරටු පහළවූහ.
“දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ, යම් යම් යෝනියක උපදිම්ද, (ඒ සියලු තන්හි) මාගේ අදහසට අනුව ප්‍රාසාදයක් තිබේ.
“භයක් හෝ, තැති ගැනීමක් හෝ, ලොමු දැහැ ගැන්මක් හෝ නොවේ. එම භය ආදිය මම නොදනිමි. මෙය තෘණ කුටි දානයෙහි විපාකයයි.
“සිංහයෝද, ව්‍යාඝ්‍රයෝද, දිවියෝද, වලස්සුද, වෘකයෝද, කළු හිස් ඇති වලස්සුද යන මේ සියලු (වන මෘගයෝ) මා බැහැර කෙරෙත්. තෘණකුටි දානයෙහි මේ විපාකයයි.
“බඩගා යන සත්තුද, භූතයෝද, සර්පයෝද, කුම්භාණ්ඩයෝද, රකුසෝද යන ඔවුහු මා බැහැර කෙරෙත්. තෘණකුටි දානයෙහි මේ විපාකයයි.
“මට පවිටු සිහින පෙනුමක් ගැන මම නොදනිමි. මාගේ සතිය (සිහිය) එළඹ සිටියාය. තෘණ කුටි දානයෙහි මේ විපාකයයි.
“එම තෘණ කුටි දානය හේතුකොටගෙනම සම්පත් අනුභවකොට මම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයද ප්රත්යක්ෂ (අවබෝධ) කෙළෙමි.
“මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. තෘණ කුටි දානයෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.”
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණකුටිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තිණකුටිදායක ථේරාපදානය සත්වැනියි.
338. උත්තරෙය්‍යදායක ථේරාපදානය.
“එකල්හි (මම) හංසවතී නගරයෙහි වේද හදාරන්නාවූ, මන්ත්‍ර දරන්නාවූ, වෙදත්‍රයෙහි පරතෙරට ගිය බමුණෙක් වීමි.
“මැනවින් හික්මුණු, ජාතිමත් (කුලවත්) වූ මම ස්වකීය ශිෂ්‍යයන් විසින් පෙරටුකරණ ලදුයේ, දිය ඉසීම පිණිස නුවරින් නික්මුණෙමි.
“සියළු (දතයුතු) ධර්මයන්ගේ පරතෙරට ගියාවූ, පස්මරුන් දිනූ, පදුමුත්තර බුදුරජතෙමේ රහතුන් දහසක් සමග නගරයට පිවිසිසේක.
“නොඇලීමෙන් (තෘෂ්ණා රහිත බැවින්) කරන ලද්දාක් වැනිවූ, අති මනොඥ රූපය ඇති, රහතුන් විසින් පිරිවරන ලද (එම බුදුරදුන්) දැක සිත පැහැදවීමි.
“හිසෙහි ඇඳිලි බැඳ, මනා ව්‍රත ඇති (බුදුරදුන්හට) වැඳ, පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, මම උතුරුසළුව පිදීමි.
“සළුව දොහොතින් ගෙන උඩට දැමීමි. (එම) සළුව යම්තාක් බුදු පිරිසද, ඒතාක් (වියනකින් මෙන්) වැසීය.
“එකල්හි පිඬු පිණිස හැසිරෙන්නාවූ මහා භික්ෂු සංඝයාගේ ආදිමවූ බුදුරදුන්හට සෙවෙනියක් (වියනක්) කරමින්, මා සතුටු කරවමින් (එම සළුව) අහසෙහි සිටියේය.
“ගෘහයෙන් නික්මෙන්නාවූ, සියල්ල තෙමේම අවබෝධ කළාවූ, අග්‍ර පුද්ගලවූ ශාස්තෘ තෙමේ වීථියෙහි සිටියේම මට අනුමෝදනාව කළ සේක.
“පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, යමෙක් මට සළුවක් පිළිගැන්වූයේද, මම හේ කවරෙක්දැයි කියන්නෙමි. එසේ කියන්නාවූ මාගේ වචනය අසව්.
“(මෙතෙම) කප් තිස් දහසක් මුළුල්ලෙහි දෙව් ලොව සිත් අලවා වසන්නේය. ශක්‍ර දේවේන්ද්රව පණස් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය.
“(කරණ ලද) පුණ්යකර්මයාගේ විපාකයෙන් යුතුවූයේ, දෙව්ලොව වසන්නාවූ මොහුට හාත්පස යොදුන් සියයක් වස්ත්‍ර සෙවෙනියක් (වියනක්) වන්නේය.
“සත්තිස් වරක් සක්විති රජ වන්නේය. (කරවන්නාවූ) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් ගිනිය නොහැකිය.