34. ගන්ධධූපිය වග්ග
331. ගන්ධධූපිය ථේරාපදානය
“මම සිදුහත් බුදුරජුන්හට සුවඳ දුමක් දුනිමි. සමන් මල්වලින් වසන ලද එය බුදුරජුන්හට සුදුසුවූවක් වෙයි.
“මෙසේ කසුන් ඇගෑවක් මෙන් බබලන්නාවූ, නිළුපුල් මලක් මෙන් දිලිසෙන්නාවූ, ඇවිලෙන ගින්නක් වැනිවූ,
“උතුම්වූ ශ්රේෂ්ඨ ව්යාඝ්රයෙකු වැනි, විශිෂ්ඨ ජන්ම ඇති, (ජාතිමත්) කේශර සිංහයෙකු මෙන්වූ, ශ්රමණයන්ට අග්රවූ, භික්ෂු සංඝයා පිරිවරාගෙන හුන්නාවූ (එම සිදුහත් බුදුරජුන්)
“දැක සිත පහදවා ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේගේ සිරිපා වැඳ, උත්තර දිශාභිමුඛව (උතුරු දෙසට හැරී) ගියෙමි.
“සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් සුවඳ දුමක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සුවඳ දුම් පිදීමෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්ධධූපිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
ගන්ධධූපියත්ථෙරස්සාපදානං පඨමං.
332. උදක පූජක ථේරාපදානය
“දිලිසෙන ගින්න මෙන්වූ, ඇවිලගත් අග්නිය වැනි, අහසෙහි වඩින්නාවූ, රන්වන්වූ සම්බුදුරජුන් දිටිමි.
“(දැක) මම අතින් දිය ගෙන අහසෙහි දැමීමි. මහාවීරවූ, කාරුණිකවූ සර්වඥ ඎෂි තෙමේ (එය) පිළිගත් සේක.
“අහසෙහි වැඩ සිටියාවූ පදුමුත්තර නම් ශාස්තෘ තෙමේ මාගේ අදහස් දැන මෙම ගාථාව වදාළ සේක.
“මේ ජලදානය කරණකොටගෙනද, (බුදුරජුන් කෙරෙහි) ප්රීතිය ඉපදවීම කරණකොටගෙනද කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදින්නේය කියායි.
“විපදෝත්තමයන් වහන්ස, ලෝක ජ්යෙෂ්ඨයන් වහන්ස, නර ශ්රේෂ්ඨයන් වහන්ස, එම කර්මය කරණකොටගෙන ජය පරාජය දෙකම හැර අචල ස්ථානයවූ (නිවනට) පැමිණියේ වෙමි.
“හදාස් පන්සියවෙනු කපෙහි සිව් සයුර හා සිව් මහ දිවයින් කෙළවරකොට ඇති පෘථිවියෙහි අධිපතිවූ, ජනාධිපතිවූ, සහස්සරාජ නම්වූ සිව් සක්විති රජ කෙනෙක් වූහ.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදකපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
උදකපූජකත්ථෙරස්සාපදානං දුතියං.
333. පුන්නාග පුප්ඵිය ථේරාපදානය
“වැද්දෙකුවූ මම මහ වනයට පිවිස වෙසෙමි. පිපුණු දොඹ ගසක් දැක, බුද්ධ ශ්රේෂඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.
“සුවඳැති මිහිරි සුවඳ කැවුණු එම මල් නෙලා වැල්ලෙහි සෑයක් කොට බුදුරජුන්හට පිදීමි.
“මින් දෙ අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
“මින් එක් අනූවන කපෙහි අඳුරු දුරු කරන්නාවූ, සත් රුවනින් යුත්, මහත් බල ඇති එක් සක්විති රජෙක් වීමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුන්නාග පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
පුන්නාගපුප්ඵියත්ථෙරස්සාපදානං තතියං.