333. පුන්නාග පුප්ඵිය ථේරාපදානය
“වැද්දෙකුවූ මම මහ වනයට පිවිස වෙසෙමි. පිපුණු දොඹ ගසක් දැක, බුද්ධ ශ්රේෂඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.
“සුවඳැති මිහිරි සුවඳ කැවුණු එම මල් නෙලා වැල්ලෙහි සෑයක් කොට බුදුරජුන්හට පිදීමි.
“මින් දෙ අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
“මින් එක් අනූවන කපෙහි අඳුරු දුරු කරන්නාවූ, සත් රුවනින් යුත්, මහත් බල ඇති එක් සක්විති රජෙක් වීමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුන්නාග පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
පුන්නාගපුප්ඵියත්ථෙරස්සාපදානං තතියං.
334. එකදුස්සදායක ථේරාපදානය
“(එකල්හි මම) හංසවතී නගරයෙහි තෘණහාරකයෙක් (තණ කපා එකතුකොට විකුණන්නෙක්) වීමි. තණ එක්කොට විකිණීමෙන් කරණ තෘණහාරක කර්මයෙන් ජීවත් වෙමි. එයින්ම (අඹු) දරුවන්ද පොෂණය කරමි.
“සියළු ධර්මයන්ගෙන් පරතෙරට ගියාවූ, ලෝක නායකවූ පදුමුත්තර බුදුරජතෙම (මෝහ නමැති) ගණදුර නසා (ලොව) පහළවිය.
“මම එකල්හි ස්වකීය ගෘහයෙහි හිඳ මෙසේ සිතීමි. (කෙසේදයත්?) බුදුරජතෙම ලොව පහළවිය. මට උන්වහන්සේහට දියයුතු දෙයක්ද නැත.
“මේ මාගේ එකම සළුවයි. මට කිසි දායකයෙක් (දෙන කෙනෙක්) නැත. නිරයෙහි ස්පර්ශය දුකය. දක්ෂිණාවක් දානමය චේතනාව නමැති කුසල් බිජුවක් රෝපනය කරන්නෙමි. (හිඳුවන්නෙමි) කියායි.
“මම මෙසේ සිතා සිය සිත පැහැදවීමි. මම (ඒ) එකම වස්ත්රය ගෙන බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
“එම එකම වස්ත්රය දී අත්පොලසන් හඬ පැවැත්වීමි. ඉදින් වීරයන් වහන්ස, ඔබ වහන්සේ බුදුවරයෙක් වන සේක් නම්, මහා මුනීන් වහන්ස, මා සසර සයුරින් එතර කරනු මැනවයි කීමි.
“ලෝකයාගේ පූජාවන් පිළිගත්තාවූ පදුමුත්තර බුදුරජ තෙම මාගේ දානය පසසමින් මට අනුමෝදනාවක් කළ සේක. (කෙසේදයත්)
“මෙම එකම වස්ත්ර දානය කරණකොට ගෙනද කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියකට නොයයි.
“ශක්ර දෙවෙන්ද්රව සතිස් වරක් දිව්ය රාජ්යය කරන්නේය. දෙතිස් වරක් සක්විති රජ වන්නේය.
“(කරන ලද) ප්රදේශ රාජ්යය මෙතෙකැයි ගණන් වශයෙන් ගිණිය නොහැකිය. මිනිස් ලොව හෝ දෙව්ලොව හෝ සැරිසරන්නේ,
“රූමත්, ගුණවත්, නොමඬනා ලද සිරුරු ඇති, නොකැළඹිය හැකි, අපමණවූ වස්ත්ර සම්පත් සිත්වූ පරිදි ලබන්නෙමි කියායි.
“ප්රාඥවූ පදුමුත්තර නම් බුදුරජතෙම මෙම වචන වදාරා, ආකාශයෙහි යන හංස රාජයෙකු මෙන් අහසට නැගුණහ.
“දිව්යවූ හෝ, මනුෂ්යවූ හෝ, යම් යම් යෝනියක උපදිම්ද, (එකල්හි) මාගේ භෝග සම්පත්තියෙහි අඩු බවක් නැත. එක වස්ත්ර දානයෙහි මේ විපාකයයි.
“පියවරක් පියවරක් පාසා මට වස්ත්ර පහළවේ. වස්ත්ර යට (වියන් යට) සිටිමි. මාගේ හිස මතුයෙහි (නිරතුරුවම) වියනක් වේ.
“වන සහිත පර්වත සහිතවූද, චක්රවාට පර්වතය පටන්කොට ඇති ඒ සියල්ල මම කැමතිවන්නේ නම් වස්ත්රයන්ගෙන් වසන්නෙමි.