340. උක්ඛිත්තපදුමිය ථේරාපදානය.
“මම හංසවතී නගරයෙහි මල් කරුවෙක් වීමි. එකල්හි පියුම් විලකට බැස පියුම් නෙලමි.
“සියළු ධර්මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර නම් සර්වඥතෙමේ තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, සියක් දහසක් (රහතුන්) සමග (එහි වැඩිසේක).
“ශුද්ධවූ ෂඩභිඥා ඇති ක්ෂීණාශ්රවයන් වහන්සේ (පිරිවරා), මාගේ අභිවෘද්ධිය ගැනම සිතා මා සමීපයට පැමිණි සේක.
“මම දෙවියනට දෙවිවූ, සියල්ල තෙමේම අවබෝධ කළාවූ ලෝකනායකවූ බුදුරජුන් දැක එකල්හි පියුම් නටුයෙන් කඩා අහසෙහි දැමීමි.
“‘වීරයන් වහන්ස, ඉදින් ඔබ ලෝක ජ්යෙෂ්ඨවූ, නරශ්රේෂ්ඨවූ, සර්වඥ වෙහි නම් (මේ) පියුම් (අහසින්) ගොස් ඔබ වහන්සේගේ මස්තකයෙහි දරත්වා’ යි (අධිෂ්ඨාන කෙළෙමි).
“ලොක ජ්යෙෂ්ඨවූ, නර ශ්රේෂ්ඨවූ, මහාවීරවූ බුදුරජතෙමේ (එසේ වීමට) ඉටීය. බුද්ධානුභාවයෙන් එම පද්මයෝ උන්වහන්සේගේ මුදුනෙහි දැරූහ.
“මම මැනවින් කරණ ලද එම කර්මය හා චිත්ත ප්රණිධීන් කරණකොට ගෙන මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.
“එම දෙව්ලොවෙහි මට කරන ලද විමානය “සතපත්ත” යයි කියනු ලැබේ. (එය) සැට යොදුන් උසය. තිස් යොදුන් පුළුලය.
“ශක්ර දේවේන්ද්රව දහස් වරක් දිව්ය රාජ්යය කෙළෙමි. මම පන් සැත්තෑ වරක් සකිවිති රජ වීමි.
“කරවන ලද මහත්වූ ප්රදේශ රාජ්යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිනිය නොහැකිය. පෙර තමා විසින් මැනවින් කරන ලද ස්වකීය කර්මයෙහි (විපාකය) අනුභව කරමි.
“එම එක පියුම පිදීමෙන් එහි ආනිසංසය ලෙස සම්පත් අනුභවකොට මම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කෙළෙමි.
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. බැඳුම් සිඳි ඇතකු මෙන් ආශ්රව රහිතව වෙසෙමි.
“මින් ලක්ෂයක්වන කපෙහි යම් පුෂ්ප පද්ම පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. එක පියුමක් පිදීමෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.”
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උක්ඛිත්තපදුමිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
උක්ඛිත්තපදුමිය ථේරාපදානය දසවැනියි.
උද්දානං (එනම්):
“ගන්ධධූපිය ද, උදකදායක ද, පුන්නාගපුප්ඵිය ද, එකදුස්සදායක ද, ඵුසිතකම්පිය ද, පභංකර ද, තිණකුටිදායක ද, උත්තරීයදායක ද, ධම්මසවණිය ද, ඒකපදුමිය ද යන මෙහි (සියලු) ගාථා එක්කොට එකසිය හතළිස් හතරක් වේ.”
තිස් හතරවන ගන්ධධූපිය වර්ගයයි.
35. එකපදුමිය වග්ග
341. එකපදුමිය ථේරාපදානය
“සියළු ධර්මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර සර්වඥ තෙමේ භවයාගේ අභාව නම්වූ නිවන පවසමින් බොහෝ ජනයා සසර සයුරින් එතර කළ සේක.
“එකල්හි මම පක්ෂීන්හට උත්තමවූ හංසරාජයෙක් වෙමි. ස්වයංජාත විලකට බැස හංස ක්රීඩා කරමි.
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, පස් මරුන් දිනූ, පදුමුත්තර බුදුරජතෙම එකෙණෙහි එම සවයංජාත විල මතුයෙහි වැඩිය සේක.
“මම දෙවියනට දෙවිවූ, සියල්ල තෙමේම අවබෝධ කරගත්, බුදුරජුන් දැක, මනරම්වූ සියපත් පියුමක් නටුවෙන් කඩා,
“බුදුරජුන් කෙරෙහි පහන්වූයේ, හොටින් ගෙන ඔසවා, අහසෙහි වැඩ සිටි එම බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේට පිදීමි.
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, ශාස්තෲවූ, පදුමුත්තර බුදුරජතෙම අහසෙහි වැඩ සිටියේ, මාහට මේ අනුමෝදනාව කළ සේක.
“මෙම එකම පියුම පිදීමෙන්ද, චිත්ත ප්රණිධීන්ද කරණකොට ගෙන කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි විනිපාත නම්වූ දුගතියකට නොයන්නෙහිය.”
“පදුමුත්තර නම්වූ සර්වඥතෙම මෙම අනුමෝදනා වචන වදාරා, මාගේ කර්මය පවසා අභිමත පරිදි වැඩමවූ සේක.
“මින් පෙර ලක්ෂයක් වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකපදුමිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකපදුමියත්ථෙරස්සාපදානං පඨමං.