322. පුලින පූජක ථේරාපදානය
2831. බබලන්නාවූ කුඹුක් ගසක් වැනිවූද, ශ්‍රේෂ්ඨ ආජානීයයෙකු මෙන්වූද, ඕසධි තාරකාව මෙන් දිලිසෙන බබලන්නාවූ, නරශ්‍රේෂ්ඨ බුදුරජුන් දිටිමි.
2832. (දැක) මම ශාස්තෲන් වහන්සේට ඇඳිලි බැඳ වැන්දෙමි. බුදුරජුන්ට පැසසීමි. ස්වකීය පුණ්‍ය කර්‍මයෙන් සතුටුවූයේ,
2833. පිරිසිදු වැලි ගෙන ඔඩොක්කුවෙහි ලා ගෙන ගොස් විපස්සී බුදුරජුන් වැඩිය මගෙහි දැමීමි.
2834. ඉක්බිති පැහැදි සිතින් ඉන් අඩක් වැලි බුදුරජුන් දවල් කල වෙසෙන දිවා විහාරස්ථානයෙහි තාදී ගුණ ඇති තථාගතයන් වහන්සේට පූජාවක් ලෙස ඉසීමි.
2835. මින් එක් එක් අනූවන කපෙහි මම යම් වැලි ඉසීමක් කෙළෙම්ද. (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වැලි ඉසීමෙහි මේ විපාකයයි.
2836. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුලින පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පුලිනපූජක තෙරුන්ගේ අපදානය දෙවැන්නයි.
323. හාසජනක ථේරාපදානය
2837. ශාස්තෲන් වහන්සේගේ පවුල් සිවුර ගස් මුදුනක එල්බෙනු දැක මා විසින් ඇඳිලි බැඳ (එය) වඩාත් ඔසවන ලදී.
2838. දුරදීම දැක මට සතුට පහළවිය. (ඉක්බිති) ඇඳිලි බැඳ වඩාත් සිත පැහැදවීමි.
2839. මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් (බුදුරජුන්ගේ පවුල් සිවුර පිළිබඳ) පැහැදී හැඟීමක් ලැබූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුදුරජුන් පිළිබඳ පැහැදි හැඟීමෙහි මේ විපාකයයි.
2840. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් හාසජනක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
හාසජනක තෙරුන්ගේ අපදානය තෙවැන්නයි.
324. යඤ්ඤසාමික ථේරාපදානය
2841. උපතින් සත් හැවිරිදිවූ මම මන්ත්‍ර ශාස්ත්‍රයෙහි තෙරපතුයේ කුල පරපුර දැරීමි. මා විසින් යාගයක්ද මෙහෙයවන ලදී.
2842. එකල්හි මගේ (යාගය උදෙසා) අසූසාර දහසක් සිවුපාවුන් මරත්. (එම සිවුපාවෝ) යාගය පිණිස යූපස්තම්භය වෙත පමුණුවන ලද්දාහු පසෙක සිටියාහුය.
2843. උදාවන හිරු වැනිවූද, පසලොස්වක් දිනයෙහි සඳ වැනිවූද, කිහිරඟුරු මෙන් බබලන පැහැපත් මුහුණු ඇත්තේ,
2844. සතුටුවූ තුන් ලෝක වාසීන් විසින් පුදන ලද, (තිලොවට) හිතවත්වූ, සර්‍ව සම්පූර්‍ණ අදහස් ඇති, සිදුහත් බුදුරජ තෙම එතැනට එළඹ මෙම වචන වදාළ සේක.
2845. කුමරුවෙනි, සව්සත්නට හිංසා නොකිරීම මට රුචිකෙරේ. එසේම සොරකමින්ද, දුරාචාරයෙන්ද, මත් පැන් බීමෙන්ද වැලැක්මත්,
2846. සමචරියාවෙහි ඇල්මත්, බහුශ්‍රුතබව හා කෘතඥ බවත්, (මට රුචි කෙරේ.) මේ ධර්‍මයෝ මෙලෙව්හිද, පරලෙව්හිද, ප්‍රශංසා කටයුත්තේ වෙත්.
2847. මේ ධර්‍මයන් වඩා සව් සත්හට හිත වැඩෙහි ඇළුනේ බුදුරජුන් කෙරෙහි සිත පහදවා උතුම් මග (ප්‍රතිපදාව) වඩනු මැනව.
2848. ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, සර්‍වඥ තෙම මෙය වදාරා මටම අනුශාසනා කොට අහසට නැඟ වැඩමවූ සේක.
2849. පෙර සිත පිරිසිදුකොට, පසුව සිත පැහැදවීමි. මම එම චිත්ත ප්‍රසාදය කරණ කොට ගෙන තුසිත දෙව් ලොව උපනිමි.