323. හාසජනක ථේරාපදානය
2837. ශාස්තෲන් වහන්සේගේ පවුල් සිවුර ගස් මුදුනක එල්බෙනු දැක මා විසින් ඇඳිලි බැඳ (එය) වඩාත් ඔසවන ලදී.
2838. දුරදීම දැක මට සතුට පහළවිය. (ඉක්බිති) ඇඳිලි බැඳ වඩාත් සිත පැහැදවීමි.
2839. මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් (බුදුරජුන්ගේ පවුල් සිවුර පිළිබඳ) පැහැදී හැඟීමක් ලැබූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුදුරජුන් පිළිබඳ පැහැදි හැඟීමෙහි මේ විපාකයයි.
2840. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් හාසජනක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
හාසජනක තෙරුන්ගේ අපදානය තෙවැන්නයි.
324. යඤ්ඤසාමික ථේරාපදානය
2841. උපතින් සත් හැවිරිදිවූ මම මන්ත්‍ර ශාස්ත්‍රයෙහි තෙරපතුයේ කුල පරපුර දැරීමි. මා විසින් යාගයක්ද මෙහෙයවන ලදී.
2842. එකල්හි මගේ (යාගය උදෙසා) අසූසාර දහසක් සිවුපාවුන් මරත්. (එම සිවුපාවෝ) යාගය පිණිස යූපස්තම්භය වෙත පමුණුවන ලද්දාහු පසෙක සිටියාහුය.
2843. උදාවන හිරු වැනිවූද, පසලොස්වක් දිනයෙහි සඳ වැනිවූද, කිහිරඟුරු මෙන් බබලන පැහැපත් මුහුණු ඇත්තේ,
2844. සතුටුවූ තුන් ලෝක වාසීන් විසින් පුදන ලද, (තිලොවට) හිතවත්වූ, සර්‍ව සම්පූර්‍ණ අදහස් ඇති, සිදුහත් බුදුරජ තෙම එතැනට එළඹ මෙම වචන වදාළ සේක.
2845. කුමරුවෙනි, සව්සත්නට හිංසා නොකිරීම මට රුචිකෙරේ. එසේම සොරකමින්ද, දුරාචාරයෙන්ද, මත් පැන් බීමෙන්ද වැලැක්මත්,
2846. සමචරියාවෙහි ඇල්මත්, බහුශ්‍රුතබව හා කෘතඥ බවත්, (මට රුචි කෙරේ.) මේ ධර්‍මයෝ මෙලෙව්හිද, පරලෙව්හිද, ප්‍රශංසා කටයුත්තේ වෙත්.
2847. මේ ධර්‍මයන් වඩා සව් සත්හට හිත වැඩෙහි ඇළුනේ බුදුරජුන් කෙරෙහි සිත පහදවා උතුම් මග (ප්‍රතිපදාව) වඩනු මැනව.
2848. ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, සර්‍වඥ තෙම මෙය වදාරා මටම අනුශාසනා කොට අහසට නැඟ වැඩමවූ සේක.
2849. පෙර සිත පිරිසිදුකොට, පසුව සිත පැහැදවීමි. මම එම චිත්ත ප්‍රසාදය කරණ කොට ගෙන තුසිත දෙව් ලොව උපනිමි.
2850. මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් (බුදුරජුන් කෙරෙහි) සිත පැහැදවීමක් කෙළෙම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. බුදුන් සිහිකොට සිත පැහැදවීමෙහි මේ විපාකයයි.
2851. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් යඤ්ඤසාමික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
යඤ්ඤසාමික තෙරුන්ගේ අපදානය සිව්වැන්නයි.
325. නිමිත්ත සඤ්ඤක ථේරාපදානය
2852. මම චන්‍ද්‍රභාග නදී තීරයෙහි අසපුවක වෙසෙමි. මම වනයෙහි හැසිරෙන්නාවූ ස්වර්‍ණ මෘගයෙක් දිටිමි.
2853. එම ස්වර්‍ණ මෘගයා කෙරෙහි සිත පහදවා බුදුරජුන් සිහි කෙළෙමි. එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙන අනික් බුදුවරයන්ද සිහි කෙළෙමි.
2854. අතීතයෙහි යම් බුදු කෙනෙක් වූවාහුද, වර්‍තමානයෙහි හා අනාගතයෙහි යම් බුදුකෙනෙක් වෙත්ද, ඒ තෙකල්හිවූ බුදුවරුම මේ ස්වර්‍ණ මෘග රාජයා යම් සේද එසේම බබළත්.
2855. මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් බුදුවරයන් වහන්සේ කෙනෙක් සිතින් සිහිපත් කෙළෙම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. ඒ බුදුවරුන් සිහිපත්කිරීමෙහි මේ විපාකයයි.
2856. මින් සත් විසිවන කපෙහි පෘථිවීශ්වරවූ, මහත් බල ඇති, අරඤ්ඤසත්ත නම් සකිවිති රජ කෙනෙක් වීමි.
2857. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිමිත්ත සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
නිමිත්තසඤ්ඤක තෙරුන්ගේ අපදානය පස්වැන්නයි.
326. අන්නසංසාවක ථේරාපදානය
2858. අතුරු අවුණෙහි (වීථිය මැද) වඩින්නාවූ, කසුන් ඇගෑවක් මෙන් බබලන, දෙතිස් මහා පුරිස් ලකුණු යුත්, රන්වන් බුදුරජුන් දුටිමි.
2859. සර්‍වාර්ත්‍ථයෙන් සිදුකළ (කෙළෙස්වලින් වන) කම්පාවක් නොමැති පස්මරුන් පරදවා ජයගත් සිදුහත් බුදුරජුන් වැඩමවා එම මහා මුනිවූ සර්‍වඥයන් වහන්සේ වැළඳවීමි.
2860. එකල්හි ලෙව්හි කාරුණීකවූ බුදුරජතෙම මා වෙත ආලෝකය පැතිරවූ සේක. මම බුදුරජුන් කෙරෙහි සිත පහදවා කල්පයක් ස්වර්‍ගයෙහි සතුටුවීමි.