294. සද්දසඤ්ඤක ථේරාපදානය
හිරු උදාවන්නටත් පෙර ආලෝකය මහත් විය. (මෙය) මහර්ෂිවූ බුදුරජාණන් වහන්සේගේ ලොව පහළවීමයි.
(ගිලන් ඇඳෙහි වැතිර සිටි) මම එහි ශබ්ද ඇසීමි. ඒ බුදුරජුන් නොදිටීමි. මරණාසන්න අවස්ථාව පැමිණි කල්හිද බුද්‍ධ යන නාමය සිහි කෙළෙමි.
මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් බුද්‍ධ යන හැඟීමක් ලැබුයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ සංඥාවෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සද්දසඤ්ඤකත්ථෙරස්සාපදානං චතුත්ථං.
295. ගොසීස නික්ඛෙපක ථේරාපදානය
මා විසින් (භික්‍ෂු සංඝයා) අරම් දොරින් නික්මෙන (මඩ සහිත) මගෙහි ගව හිස් කබලක් අතුරණ ලදී. (ආජානීය අශ්ව වාහනාදිය ලැබීමෙන්) එකල තමා කළ ස්වකීය කර්‍මයේ විපාකය විඳිමි. පූර්‍ව කර්‍මයාගේ මේ විපාකයයි.
ආජානීය අශ්වයෝද, වාත වේගයෙන් දිවිය හැකි වාත ජව අශ්වයෝද, සෛත්‍ධව අශ්වයෝද යන සීඝ්‍ර වාහන (සම්පත්) අනුභව කරමි. මේ සියල්ල ගව හිස් කබල (සංඝයාගේ ගමන් පහසුව සඳහා) දැමීමේ විපාකයයි.
පුණ්‍යකර්‍මය ආශ්චර්‍ය්‍යයයි. මා විසින් සරු කෙතෙහි කරණ ලද (මෙය) උතුම් පුණ්‍ය කර්‍මයකි. සංඝයා විෂයෙහි කරණ ලද උපකාරය හා සසඳනා විට අනික් සත්කාරයක් (ඉන්) කලාවකටද නොඅගී.
මම මින් සිව් අනූවන කපෙහි යම් ගව හිස් කබලක් අතුළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ගමන් පහසුව ඇතිවන සේ සංඝයා සඳහා ගෙරි හිස් කබල ඇතිරීමේ මේ විපාකයයි.
පන් සැත්තෑවන කපෙහි මහත් බල ඇති, අතිශය තෙදවත් සුප්පතිට්ඨිත නම් එක් සක්විති රජකෙනෙක් වීමි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගොසීස නික්ඛෙපක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ගොසීසනික්ඛෙපකත්ථෙරස්සාපදානං පඤ්චමං.
296. පාදපූජක ථේරාපදානය
එකල්හි (මම) හිමවත් පව්වෙහි කිඳුරෙක් වීමි. (එහිදී) පීත වර්‍ණ රැස් ඇති (උදා) හිරු මෙන් බබළන බුදුරජුන් දිටිමි.
(තමා සිටින තැනට) වැඩියාවූ, ලෝක නායකවූ, ඒ විපස්සී බුදුරජුන් (දැක) මම ශ්‍රී පාදයෙහි සඳුන්ද, තුවරලාද ඉස්සෙමි.
මින් එක් අනූවන කපෙහි යම් ශ්‍රීපාද පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ශ්‍රීපාද පූජාවෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාදපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පාදපූජකත්ථෙරස්සාපදානං ඡට්ඨං.