295. ගොසීස නික්ඛෙපක ථේරාපදානය
මා විසින් (භික්ෂු සංඝයා) අරම් දොරින් නික්මෙන (මඩ සහිත) මගෙහි ගව හිස් කබලක් අතුරණ ලදී. (ආජානීය අශ්ව වාහනාදිය ලැබීමෙන්) එකල තමා කළ ස්වකීය කර්මයේ විපාකය විඳිමි. පූර්ව කර්මයාගේ මේ විපාකයයි.
ආජානීය අශ්වයෝද, වාත වේගයෙන් දිවිය හැකි වාත ජව අශ්වයෝද, සෛත්ධව අශ්වයෝද යන සීඝ්ර වාහන (සම්පත්) අනුභව කරමි. මේ සියල්ල ගව හිස් කබල (සංඝයාගේ ගමන් පහසුව සඳහා) දැමීමේ විපාකයයි.
පුණ්යකර්මය ආශ්චර්ය්යයයි. මා විසින් සරු කෙතෙහි කරණ ලද (මෙය) උතුම් පුණ්ය කර්මයකි. සංඝයා විෂයෙහි කරණ ලද උපකාරය හා සසඳනා විට අනික් සත්කාරයක් (ඉන්) කලාවකටද නොඅගී.
මම මින් සිව් අනූවන කපෙහි යම් ගව හිස් කබලක් අතුළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ගමන් පහසුව ඇතිවන සේ සංඝයා සඳහා ගෙරි හිස් කබල ඇතිරීමේ මේ විපාකයයි.
පන් සැත්තෑවන කපෙහි මහත් බල ඇති, අතිශය තෙදවත් සුප්පතිට්ඨිත නම් එක් සක්විති රජකෙනෙක් වීමි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගොසීස නික්ඛෙපක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ගොසීසනික්ඛෙපකත්ථෙරස්සාපදානං පඤ්චමං.
296. පාදපූජක ථේරාපදානය
එකල්හි (මම) හිමවත් පව්වෙහි කිඳුරෙක් වීමි. (එහිදී) පීත වර්ණ රැස් ඇති (උදා) හිරු මෙන් බබළන බුදුරජුන් දිටිමි.
(තමා සිටින තැනට) වැඩියාවූ, ලෝක නායකවූ, ඒ විපස්සී බුදුරජුන් (දැක) මම ශ්රී පාදයෙහි සඳුන්ද, තුවරලාද ඉස්සෙමි.
මින් එක් අනූවන කපෙහි යම් ශ්රීපාද පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ශ්රීපාද පූජාවෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාදපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පාදපූජකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
297. දෙසකිත්තක ථේරාපදානය
එකල්හි මම “උපසාල්හක” නම් බමුණෙක් වීමි. මහ වනයට පිවිසි, ලෝක ජ්යෙෂ්ඨවූ, නර ශ්රේෂ්ඨවූ (උතුමාණන් දුටුයෙමි).
ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ (ඒ) බුදුරජුන් දැක ශ්රීපාදයන් වැන්දෙමි. පහන් සිත් ඇති මා ගැන දැන බුදුරජ තෙම අතුරුදන් විය.
වනයෙන් නික්ම බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි. (බුදුරජුන් වැඩමවූ) එම දෙසට පසසා මම කල්පයක් මුළුල්ලෙහි සවර්ගයෙහි සතුටුවීමි.
මින් දෙයානූවන කපෙහි බුදුරජුන් වැඩමවූ යම් දෙසකට පැසසූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පැසසීමෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් දෙසකිත්තක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
දෙසකිත්තකත්ථෙරස්සාපදානං සත්තමං.
298. සරණගමණීය ථේරාපදානය
මම හිමවත් පව්වෙහි වැද්දෙක් වීමි. ලෝක ජ්යෙෂ්ඨවූ, නර ශ්රේෂ්ඨවූ, විපස්සී බුදුරජුන් දිටිමි.
මම සම්බුදු රජුන් වෙත එළඹ වතාවත් කෙළෙමි. විපදෝත්තමවූ, තාදි ගුණ ඇති බුදුරජුන්ගේ සරණද ගියෙමි.
මින් එක් අනූවන කපෙහි බුදුරජුන් සරණකොට ගියෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ සරණාගමනයෙහි විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණගමණීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සරණගමනියත්ථෙරස්සාපදානං අට්ඨමං.
299. අම්බපිණ්ඩිය ථේරාපදානය
මම (එකල්හි) නම්න් රොමස නම් වීමි. “දානවං” යයිද ප්රසිද්ධ වූයේ වෙමි. ඒ මා විසින් විපස්සී බුදුරජුන්හට අඹ ගෙඩියක් දෙන ලදී.
මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් අඹ දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) අගතියක් නොදනිමි. අඹ දනෙහි මේ විපාකයයි.