300. අනුසංසාවක ථේරාපදානය
මම පිඬු පිණිස හැසිරෙන්නාවූ විපස්සී බුදුරජුන් දුටිමි. විපදෝත්තමවූ, තාදී ගුණ ඇති (එම බුදුරජුන්හට) සැන්දක් පමණවූ භික්ෂාව දුනිමි.
මම එකල්හි පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ වැන්දෙමි. උත්තමාර්ත්ථයවූ නිවනට පැමිණීම පිණිස බුදුරජුන්හට පැසසීමි.
මින් එක් අනූවන කපෙහි මම බුදුරජුන්හට පැසසීමි. (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පැසසීමෙහි මේ විපාකයයි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අනුසංසාවක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අනුසංසාවකත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
චිතක, පාරිඡත්ත, සද්ද, ගොසීසසන්ථර, පද, පදෙස, සරණ, අම්බ, සංසාවක යැයි මෙහි සතළිස් ගාථාවන් ඇති බව නුවණැත්තන් විසින් දත යුතුය.
චිතකපූජකවග්ගො තිංසතිමො.
මෙහි වර්ග උද්දානය:
කණිකාර, හත්ථිදද, ආලම්බණ, උදකාසන, තුවරදායක, ථොමක, වෙච (වෙල), උක්ඛෙපක, සීසුපධාන (සීස), පණ්ණද සහ චිතකපූජක යන මොහුයි. මේ වර්ගයෙහි ගාථාවෝ සියල්ල හාරසිය පනස් එකකි. (මේ තෙවැනි සියයෙහි) සියලු ගාථා දෙදහස් පන්සිය හැත්තෑ දෙකකි. අපදානයන් තුන් සියයකි. අර්ථදර්ශීන් විසින් ගණින ලදී.
තතියසතකං සමත්තං.
31. පදුම කෙසර වග්ග
301. පදුම කෙසරිය ථේරාපදානය
“මම පෙර ඎෂී සමූහයා අතුරෙහි මාතඞ්ග හස්ති කුලයෙහි උපන් චණ්ඩ නම් හස්තියෙක් වීමි. පසේ බුදුවරුන් වහන්සේලාට පැහැදී පියුම් කෙසරු විසිරවීමි.
“කම්පා කරණ ලද කෙළෙස් ඇති, තාදී ගුණ ඇති, ඒ පසේ බුදුවරුන් වහන්සේලා කෙරෙහි සිත පහදවා මම කල්පයක් මුළුල්ලෙහි ස්වර්ගයෙහි සතුටුවීමි.
“මින් එක් අනූවන කපෙහි වූ එකල්හි පියුම් කෙසරු විසිරවීම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුම කෙසරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
පදුමකෙසරියත්ථෙරස්ස අපදානං පඨමං.
302. සබ්බගන්ධිය ථේරාපදානය
“විපස්සී බුදුරජුන්හට මා විසින් සුවඳ මල් දෙන ලදී. එසේම කාය වඞ්කාදියෙන් තොර බැවින් ඎජුවූ උන්වහන්සේට උතුම් කොසෙය්ය වස්ත්රයක්ද දුනිමි.
“මින් එක් අනූවන කපෙහි වූ ඒ අතිතයෙහි යම් ගන්ධ දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ගන්ධ දානයෙහි මේ විපාකයයි.
“මින් පසළොස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති “සුචෙල” නම් සක්විති රජෙක් වීමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සබ්බගන්ධිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
සබ්බගන්ධියත්ථෙරස්ස අපදානං දුතියං.
303. පරමන්නදායක ථේරාපදානය
“කිනිහිරි රුකක් මෙන්ද, උදාවන හිරු මෙන්ද, බබලන ලෝක ජෙෂ්ඨවූ, නර ශ්රේෂ්ඨවූ, විපස්සී බුදුරජුන් දිටිමි.
“මම ඇඳිලි බැඳ (එම බුදුරජුන්) සිය ගෙදොරට වැඩමවීමි. වැඩමවා සම්බුදු රජුන්හට උතුම් ආහාර දුනිමි.