287. අපදානීය ථේරාපදානය
30. “මම මහර්ෂීවූ බුදුරජුන්හට තථාගතයන් වහන්සේලාගේ අපදාන පැවසීමි. පහන්වූයේ සියතින් ශ්‍රීපාදයන්ද හිස නමා වැන්දෙමි.
31. “මින් දෙයානූවන කපෙහි (යම්) සුගතාභිදානයක් පැවසූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අපදාන කීර්‍තනයෙහි (තථාගත චරිතයන්ට පැසසීමෙහි) මේ විපාකයයි.
32. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අපදානීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අපදානියත්ථෙරස්සාපදානං සත්තමං.
288. සත්තාහ පබ්බජිත ථේරාපදානය
33. “මා විසින් විපස්සී බුදුරජුන්ගේ ශ්‍රාවක සංඝ තෙමේ සත්කාර හා බුහුමන් කරන ලදුයේ විය. මට ආපදාවක් පැමිණියේය. පෙර ඥාතීන් අතර භේදයක් ඇතිවිය.
34. “එම උවදුරින් සන්සිඳීම පිණිස බුදුසසුනෙන් කැමැත්තෙන් පැවිදිව සතියක් එහි ඇළුනේව විසීමි.
35. “මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් හෙයකින් මම පැවිදිවූයෙම්ද, (ඒ පැවිදිවීම කරණකොට ගෙන) දුගතියක් නොදනිමි. පැවිද්දෙහි මේ විපාකයයි.
36. “මින් සත්සැටවන කපෙහි පෘථිවීශ්වරවූ, මහත් බල ඇති සුනික්ඛම නම් නම් වූ සක්විති රජ කෙනෙක් වූහ.
37. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තාහ පබ්බජිත තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සත්තාහපබ්බජිතත්ථෙරස්සාපදානං අට්ඨමං.
289. බුද්‍ධුපට්ඨාක ථේරාපදානය
38. “මාගේ නම වෙටම්බරිය විය. එකල්හි මාගේ පිය තෙම මාගේ අත ගෙන බුදුරජුන් වෙතට පැමිණවීය.
39. “මේ ලෝකාග්‍රනායකවූ බුදුවරු මට දහම් දෙසන්නාහුයයි (සිතා) මම පහන්වූයේ සියතින් උන්වහන්සේට මැනවින් උපස්ථාන කෙළෙමි.
40. “මින් තිස් එක්වන කපෙහි වූ එකල්හි බුදුරජුන්හට පිරිවරණය (වතාවත්) කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. උවටැන් කිරීමෙහි මේ විපාකයයි.
41. “මින් තෙවිසිවන කපෙහි, මහත් බල ඇති සමනුපධාන නම් සිව් සක්විති රජකෙනෙක් වූහ.
42. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්‍ධුපට්ඨාක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
බුද්ධුපට්ඨායිකත්ථෙරස්සාපදානං නවමං.
290. පුබ්බඞ්ගමිය ථේරාපදානය
43. “උත්තමාර්ත්‍ථයවූ නිවන් ලැබීම පිණිස අසූහාර දහසක් දෙනා (කිසිදු වස්තුවක් නොමැති බැවින්) අකිඤ්චනවූ පැවිද්දෝ වූහ. මම ඔවුනතුරෙන් පුරෝගාමියා වීමි.
44. “පැහැදුනාවූ, නොකැළඹුනාවූ මොවුහු රාග සහිතයෝය. භවෝත්පත්තිය නැති නොකොළෝය. පහන්වූ ඔවුහු (රහතුන්හට) සියතින්ම මැනවින් උවැටැන් කළාහුය.
45. “ක්‍ෂය කළ ආශ්‍රව ඇති, වමාරා දැමූ (නැතිකළ කෙළෙස්) දොස් ඇති, රහත් බවට පත්, සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස් මරුන් දිනූ (උන්වහන්සේලා) (අප කෙරෙහි) මෙත් සිත පැතිරවූහ.
46. “එම සම්බුදුවරයන් වහන්සේලාට උවැටැන් කොට, සිහියෙන් යුක්තවූයේ මරණයටද පැමිණියාහු දෙවත්‍වයටද ගියෙමු.
47. “සිව් අනූවන කපෙහි යම් ශීලයක් රැකියෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සංයමයෙහි මේ විපාකයයි.
48. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුබ්බඞ්ගමිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පුබ්බඞ්ගමියත්ථෙරස්සාපදානං දසමං.
උද්දානං:
පණ්ණ, ඵල, පච්චුග්ගම, එකපුප්ඵී, මඝව, උපට්ඨාක, සත්තාහපබ්බජ්ජා, බුද්ධුපට්ඨාක සහ පුබ්බඞ්ගම ද යන මේ ගාථාවෝ අටසතළිසක් යැයි කීර්තනය කරන ලද්දාහුය.
පණ්ණදායකවග්ගො එකූනතිංසතිමො.