290. පුබ්බඞ්ගමිය ථේරාපදානය
43. “උත්තමාර්ත්‍ථයවූ නිවන් ලැබීම පිණිස අසූහාර දහසක් දෙනා (කිසිදු වස්තුවක් නොමැති බැවින්) අකිඤ්චනවූ පැවිද්දෝ වූහ. මම ඔවුනතුරෙන් පුරෝගාමියා වීමි.
44. “පැහැදුනාවූ, නොකැළඹුනාවූ මොවුහු රාග සහිතයෝය. භවෝත්පත්තිය නැති නොකොළෝය. පහන්වූ ඔවුහු (රහතුන්හට) සියතින්ම මැනවින් උවැටැන් කළාහුය.
45. “ක්‍ෂය කළ ආශ්‍රව ඇති, වමාරා දැමූ (නැතිකළ කෙළෙස්) දොස් ඇති, රහත් බවට පත්, සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස් මරුන් දිනූ (උන්වහන්සේලා) (අප කෙරෙහි) මෙත් සිත පැතිරවූහ.
46. “එම සම්බුදුවරයන් වහන්සේලාට උවැටැන් කොට, සිහියෙන් යුක්තවූයේ මරණයටද පැමිණියාහු දෙවත්‍වයටද ගියෙමු.
47. “සිව් අනූවන කපෙහි යම් ශීලයක් රැකියෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සංයමයෙහි මේ විපාකයයි.
48. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුබ්බඞ්ගමිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පුබ්බඞ්ගමියත්ථෙරස්සාපදානං දසමං.
උද්දානං:
පණ්ණ, ඵල, පච්චුග්ගම, එකපුප්ඵී, මඝව, උපට්ඨාක, සත්තාහපබ්බජ්ජා, බුද්ධුපට්ඨාක සහ පුබ්බඞ්ගම ද යන මේ ගාථාවෝ අටසතළිසක් යැයි කීර්තනය කරන ලද්දාහුය.
පණ්ණදායකවග්ගො එකූනතිංසතිමො.
30. චිතකපූජක වග්ග
291. චිතකපූජක ථේරාපදානය
එකල්හි මම අජිත නම් බමුණෙක් වීමි. පූජාවක් කරනු කැමැත්තේ නොයෙක් මල් රැස් කළෙමි.
සිඛී බුදුරජාණන් වහන්සේගේ ඇවිලෙන්නාවූ සෑය දැක මම එම මල් ගෙනවුත් සැයෙහි විසිරවීමි.
මින් එක් තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
මින් සත් විසි වන කපෙහි මනුජාධිපතිවූ, මහත් බල ඇති, සුපජ්ජලිත නම් සක්විති රජ කෙනෙක් වූහ.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
චිතකපූජකත්ථෙරස්සාපදානං පඨමං.
292. පුප්ඵධාරක ථේරාපදානය
මම වැහැරි සිවුරු දරන්නාවූ, එකස්කොට අඳනා ලදවූ අඳුන් දිවි සම් ඇති, උපදවූ පංචාභිඥා ඇති, සඳ පිරිමැදුමෙහි සමත් (ඎද්‍ධිමත්) තවුසෙක් වීමි.
ලෝකයාට අලෝකයක්වූ, මා සමීපයට වැඩියාවූ විපස්සී බුදුරජුන් දැක, මම එම ශාස්තෲන් වහන්සේට පරසතු මල් (ගෙනවුත් කුඩයක් මෙන් කොට) දැරීමි.
මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප (ඡත්‍රයක්) දැරූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (මල් කුඩය) දැරීමෙහි මේ විපාකයයි.
මින් සත් අසූවන කපෙහි පෘථිවීශ්වරවූ, මහත් බල ඇති සමන්තධාරණ නම් එක් සක්විති රජෙක් වීමි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵධාරක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පුප්ඵධාරකත්ථෙරස්සාපදානං දුතියං.