277. චිතකපූජක ථේරාපදානය
“මම චන්ද්රභාගා ගං ඉවුරෙහි යටිගං බලා යමි. (එහිදී) මාලුව මල් සතක් ගෙන (වැලිවලින් සෑයක් කොට එම) චිතකයට පිදීමි.
“මින් සිව් අනූවන කපෙහි යම් චිතක පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චිතක පූජාවෙහි මේ විපාකයයි.
“මින් සත් සැටවන කපෙහි සත් රුවනින් යුත්, පටිජග්ග නම් ඇති සක්විති රජ කෙනෙක් වූහ.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
චිතකපූජකත්ථෙරස්සාපදානං සත්තමං.
278. ආලුවදායක ථේරාපදානය
“හිමවත් පව්වෙහි සුදර්ශනීයවූ මහාසින්ධු නම් නදියකි. එහි වීතරාගී වූ ප්රභා සම්පන්න වූ සුදස්සන නම් රහතුන් වහන්සේ මම එහිදී දුටුවෙමි.
උත්තම උපශමයෙන් යුත් උන්වහන්සේ දැක විස්මිත වූ සිතැත්තෙම්, පහන් සිතින් සියතින්ම උන්වහන්සේට ආලුව අලයක් දුනිමි.
“මින් එක් තිස්වන කපෙහි වූ එකල්හි යම් ආලුව දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ආලුව (අල) දනෙහි මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආලුවදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
ආලුවදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.
279. එකපුණ්ඩරීක ථේරාපදානය
“(මම) එකල්හි නම්න් රොමස නම් වීමි. මනා වෘත ඇති බුදුරජ තෙමේද විය. මා විසින් පහන් සිතින් (උන්වහන්සේට) පියුමක් දෙන ලදී.
“මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් පියුමක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුණ්ඩරීක දානයාගේ මේ විපාකයයි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකපුණ්ඩරීක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
එකපුණ්ඩරීකත්ථෙරස්සාපදානං නවමං.
280. තරණීය ථේරාපදානය
“පහසුවෙන් යා නොහැකි මාර්ගයක මවිසින් ලෝකයාගේ එතරවීම පිණිස සියතින්ම ඒදන්ඩක් (හෙයක්) කරවන ලදී.
“මින් අනූඑක්වන කපෙහි මවිසින් ඒදණ්ඩ කරවන ලදී. දුගතියක් නොදනිමි. එදඬු දානයාගේ මේ ඵලයයි.
“මින් පණස්වන කපෙහි සත් රුවණින් යුතු මහත් බල ඇති සමාගධ නම් සක්විති රජෙක් වීමි.
සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තරණීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
තරණීයත්ථෙරස්සාපදානං දසමං.