270. තරණීය ථේරාපදානය
39. “දක්‍ෂිණාර්හවූ, ස්වර්‍ණවර්‍ණවූ, භික්‍ෂු සංඝයා විසින් පිරිවරණ ලද, ශාස්තෲවූ විපස්සී බුදුරජතෙම ගංතෙරෙහි සිටිසේක.
40. “මහ මුහුදු තරණය කරණ නැවක් එහි නොවීය. මම ගඟින් නික්ම අවුත් ලෝකනායකවූ එම බුදුරජුන් එතර කරවීමි.
41. “මින් එක් අනූවන කපෙහි වූ එකල්හි බුදුරජුන් ගඟින් එතෙර කිරීම නම්වූ යම් පින්කමක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුදුරජුන් ගඟින් එතෙර කිරීමෙහි මේ විපාකයයි.
42. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තරණීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
තරණියත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
උක්ඛේපිය, තෙලමක්ඛිය, චන්දිය, දීපද, බිළාලිද, මච්ඡ, ජව, සලලද, රක්ඛස හා තරණ යැයි දස දෙනෙකි. මෙහි ගාථාවෝ හතළිස් එකක් යැයි ගණන් බලන ලදී.
පදුමුක්ඛිපවග්ගො සත්තවීසතිමො.
28. සුවණ්ණබිම්බොහන වග්ග
271. සුවණ්ණබිම්බොහනිය ථේරාපදානය
“උත්තමාර්ත්‍ථයවූ නිවන් ලබනු පිණිස මම සියතින් එක් අසුනක් දුනිමි. බිම්බොහන (මෙට්ට) යක්ද දුනිමි.
“මින් එක් අනූවන කපෙහි යම් බිම්බොහන දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බිම්බොහන දානයාගේ මේ විපාකයයි.
“මින් තෙසැටවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති අසම නම් සක්විති රජෙක් වීමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුවණ්ණ බිම්බොහනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
සුවණ්ණබිබ්බොහනියත්ථෙරස්සාපදානං පඨමං.
272. තිලමුට්ඨිදායක ථේරාපදානය
ලෝක නායකවූ ශාස්තෘ තෙමේ මාගේ අදහස් දැන මනෝමයවූ කයින් හෙවත් චිත්ත ගතියට හැරවූ සිරුරින් යුතුව ඎද්‍ධියෙන් (මා වෙත) එළඹි සේක.
“මම එසේ එළඹියාවූ පුරුෂෝත්තමවූ ශාස්තෲන් වහන්සේට වැඳ, පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, තල මිටක් දුනිමි.
“මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් තිල දානයක් (තල දනක්) දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. තල මිටක් දීමෙහි මේ විපාකයයි.
“මින් සොළොස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති නන්දිය නම් සක්විති රජෙක් වීමි.
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිලමුට්ඨිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
තිලමුට්ඨිදායකත්ථෙරස්සාපදානං දුතියං.
273. චඞ්ගොටකිය ථේරාපදානය
“සිද්‍ධාර්ත්‍ථ (බුදුරජතෙම) මහ සයුර ඇසුරුකොට ඇති කඳු අතරක වැඩ වෙසේ. මම (මල්) ගොටුවක් සාදාගෙන උන්වහන්සේට පෙර ගමන්කොට එය පිළිගැන්වීමි.
“මම සියලු සත්ත්‍වයනට හිතානුකම්පා ඇති සිදුහත් බුදුරජුන්හට මල් ගොටුව පිළිගන්වා (ඒ හේතුවෙන්) කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටුවීමි.