248. සත්තලි පුප්ඵිය ථේරාපදානය
2488. “වෙස්සභූ බුදුරජුන් ලොව පහළවු කල්හි මම සත්තලි නම් මල් සතක් හිසෙහි කොට එම බුදුජුන්හට පිදීමි.
2489. “මින් එක් තිස්වන කල්පයෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
2490. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තලි පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
සත්තලිපුප්ඵපූජකත්ථෙරස්සාපදානං අට්ඨමං.
249. බිම්බි ජාලිය ථේරාපදානය
2491. “සියල්ල තෙමේම අවබෝධ කළාවූ, අග්‍ර පුද්ගලවූ පදුමුත්තර බුදුරජතෙම චතුස්සත්‍යය දේශනා කරන සේක. අමෘත පදය (නිවණ) දක්වන සේක.
2492. “එකල්හි මම රත්කරව් මල් කඩා තාදී ගුණ ඇති විපදෝත්තමවූ පදුමුත්තර බුදුරජුන්හට පිදීමි.
2493. “මින් අට සැටවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති කිඤ්ජකෙසර නම් සිව් සක්විති රජ කෙනෙක් වූහ.
2494. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිම්බි ජාලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
බිම්බිජාලියත්ථෙරස්සාපදානං නවමං.
250. උද්දායක ථේරාපදානය
2495. “සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස්මරුන් ජයගත්, කකුධ නම් බුදුරජතෙමේ වැඩ වෙසෙන විහාරයෙන් නික්ම මහා නදියට වැඩි සේක.
2496. “මම එකල්හි ඇසල (මල්) ගෙන සන්සුන්වූ, ඎජු ගුණ ඇති බුදුරජුන්හට පහන් සිත් ඇත්තේ පිදීමි.
2497. “මින් එක් තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප දානයෙහි මේ විපාකයයි.
2498. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උද්දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
උද්දාලකදායකත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
තුවර, නාග, නළින, විරවී, කුටිධූපක, පත්ත, ධාතු, සත්තලිය, බිම්බී සහ උද්දාලක යන මොවුන්ගේ නුවණැත්තන් විසින් ගණන් බලන ලද ගාථාවෝ තිස්හතකි.
තුවරදායකවග්ගො පඤ්චවීසතිමො.
26. ථොමක වග්ග
251. ථොමක ථේරාපදානය.
2499. “දෙව්ලොව සිටියේ, විපස්සී බුදුරජුන්ගේ ධර්‍මය අසා සතුටුවූයේ මම මේ වචනය කීමි.
2500. “පුරුෂ ශ්‍රේෂඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂොත්තමයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ අමා පදය (ධර්‍මය) දෙසමින් බොහෝ දෙන (සසර සයුරින්) එතර කරහිය කියායි.
2501. “මින් එක් අනූවන කපෙහි වූ එකල්හි (යම් බුදුරජුන්හට ස්තූති) වචනයක් කීවෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ ස්තූති කරණයෙහි මේ විපාකයයි.
2502. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.”
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ථොමක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ථොමකත්ථෙරස්සාපදානං පඨමං.