223. විරතනීය ථේරාපදානය.
2384. මම පෙර මහ වනයෙහි මුව වැද්දෙක් වීමි. ලෝකයාගේ පූජාවන් පිළිගත්තාවූ, කෙලෙස්මල නැති බුදුරජුන් දිටිමි.
2385. විපස්සී බුදුරජුන්හට මා විසින් මස් කැබැල්ලක් දෙන ලදී. මම (ඒ හේතුවෙන්) දෙවියන් සහිත ලෝකයෙහි ආධිපත්‍යය කරමි.
2386. මෙම මස් දන කරණකොට ගෙන මට රුවන් උපදී. මේ රුවන් දෙක ලෙව්හි නිවන් ලැබීමට උපකාරීවේ.
2387. මස් දනෙහි ශක්තිය කරණකොට ගෙන මම ඒ සියල්ල අනුභව කරමි. මාගේ ශරීරයද මෘදුය. සියුම් දෙය අවබෝධ කර ගත හැකි ප්‍රඥාවද වේ.
2388. මින් එක් අනූවන කපෙහි මම යම් මස් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මස් දනෙහි මේ විපාකයයි.
2389. මින් සිව්වන කපෙහි ජනාධිපතිවූ, මහත් බල ඇති මහා රෝහිත නම් වූ එක් සක්විති රජෙක් වීමි.
2390. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් විරතනීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ද්වෙරතනියත්ථෙරස්සාපදානං තතියං.
224. ආරක්ඛදායක ථේරාපදානය
2391. මා විසින් සිදුහත් බුදුරජුන්හට වේදිකාවක් කරණ ලදී. මා විසින් මහර්ෂීවූ බුදුරජුන්හට ආරක්‍ෂාවක්ද දෙන ලදී.
2392. එම කර්‍ම විශේෂය කරණකොට ගෙන භයජනක අරමුණක් නොදනිමි. කොහි උපන්නේ නමුදු මට ත්‍රාසයක් විද්‍යාමාන නැත.
2393. මම සිව් අනූවන කපෙහි යම් වේදිකාවක් කරවූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වේදිකා දනෙහි මේ විපාකයයි.
2394. මින් සවනු කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති අපස්සෙන නම් සක්විති රජෙක් වීමි.
2395. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආරක්ඛදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ආරක්ඛදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.
225. අව්‍යාධික ථේරාපදානය
2396. මම විපස්සී බුදුරජුන්හට ගිනිහල් ගෙයක් දුනිමි. රෝගීන්හට නිවාස ස්ථානද, උනුදියද, කෙළගසන (පඩික්කම්ද) දුනිමි.
2397. එම කර්‍මය හේතුකොට ගෙන මට මේ ආත්ම භාවය මවන ලදී. මම ලෙඩ කුමක්දැයි නොදනිමි. පුණ්‍ය කර්‍මයාගේ මේ විපාකයයි.
2398. මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් ශාලාවක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ගිනිහල් ගෙය දීමෙහි මේ විපාකයයි.
2399. මින් සත්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති අපරාජිත නම් එක් සක්විති රජෙක් වීමි.
2400. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අව්‍යාධික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අබ්‍යාධිකත්ථෙරස්සාපදානං පඤ්චමං.
226. අඞ්කොලපුප්ඵිය ථේරාපදානය
2401. නාරද යනු මගේ නමයි. මට කාශ්‍යපයයිද කියති. ශ්‍රමණයනට අග්‍රවූ, දෙවියන් විසින් සත්කාර කරණ ලද විපස්සී බුදුරජුන් දිටිමි.
2402. අනුව්‍යඤ්ජනයන් දරන්නාවූ, ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ බුදුරජුන්හට මම රුකඟුණ මල් ගෙන පිදීමි.
2403. මින් එක්අනූවන කපෙහි යම් මලක් පිදූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2404. මින් සූසැත්තෑවන කපෙහි ස්වර්‍ණ සිවිකා ආදී යානයන්ද, මහාමාත්‍ය සේවකාදී බලයන්ද, හස්ති අශ්ව රථ සංඛ්‍යාත වාහනයන්ද යන මොවුන්ගෙන් යුක්තවූයේ පැළඳි මාලාභරණ ඇත්තේ “රොමිස” නම් රජෙක් වීමි.
2405. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඞ්කොල පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අඞ්කොලපුප්ඵියත්ථෙරස්සාපදානං ඡට්ඨං.