23. ආලම්බනදායක වග්ග
221. ආලම්බනදායක ථේරාපදානය.
2373. අටලෝ දහම්හි කම්පා නොවන බැවින් තාදී ගුණ ඇති, ලෝකජ්යෙෂ්ඨවූ, විපදෝත්තමවූ අත්ථදස්සී බුදුරජුන්හට මා විසින් එල්බෙන පුවරුවක් දෙන ලදී.
2374. මහත්වූ සයුර කෙළෙවරකොට ඇති පෘථිවිය රජ කරමි. (පෘථිවියෙහිවූ) ධනයටද, ප්රාණීන්ටද ආධිපත්යය පවත්වමි.
2375. මාගේ කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. පැමිණෙන ලද ත්රිවිද්යාවෝ ඇත්තාහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
2376. මින් දෙසැටවන කපෙහි මහත් බල ඇති “එකාපස්සිත” නම් ඒ තුන් සක්විති රජෙක් වූහ.
2377. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආලම්බනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ආලම්බණදායකත්ථෙරස්සාපදානං පඨමං.
222. අජිනදායක ථේරාපදානය.
2378. මින් තිස්එක්වන කපෙහි මම ශාස්තෲන් ගරු කළ පිරිසෙහි කෙනෙක් වීමි. කෙළෙස් රජස් විරහිත, ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ සිඛී බුදුරජුන් දිටිමි.
2379. ලෝක බන්ධුවූ සිඛී බුදුරජුන්හට මා විසින් සම් කඩක් දෙන ලදී. විපදෝත්තමයන් වහන්ස, ලෝක ජ්යෙෂ්ඨයන් වහන්ස, නරශ්රේෂ්ඨයන් වහන්ස, එම කර්මය කරණ කොට ගෙන,
2380. මම සම්පත් අනුභවකොට කෙලෙස්ද දැවීමි. සම්බුදු සසුනෙහි (මේ) අන්තිම ශරීරයද දරමි.
2381. මම මින් එක්තිස්වන කපෙහි යම් අඳුන් දිවි සමක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අඳුන් දිවි සම් දනෙහි මේ විපාකයයි.
2382. මින් පස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති සුදායක නම් වූ සක්විති රජෙක් වීමි
2383. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අජිනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අජිනදායකත්ථෙරස්සාපදානං දුතියං.
223. විරතනීය ථේරාපදානය.
2384. මම පෙර මහ වනයෙහි මුව වැද්දෙක් වීමි. ලෝකයාගේ පූජාවන් පිළිගත්තාවූ, කෙලෙස්මල නැති බුදුරජුන් දිටිමි.
2385. විපස්සී බුදුරජුන්හට මා විසින් මස් කැබැල්ලක් දෙන ලදී. මම (ඒ හේතුවෙන්) දෙවියන් සහිත ලෝකයෙහි ආධිපත්යය කරමි.
2386. මෙම මස් දන කරණකොට ගෙන මට රුවන් උපදී. මේ රුවන් දෙක ලෙව්හි නිවන් ලැබීමට උපකාරීවේ.
2387. මස් දනෙහි ශක්තිය කරණකොට ගෙන මම ඒ සියල්ල අනුභව කරමි. මාගේ ශරීරයද මෘදුය. සියුම් දෙය අවබෝධ කර ගත හැකි ප්රඥාවද වේ.
2388. මින් එක් අනූවන කපෙහි මම යම් මස් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මස් දනෙහි මේ විපාකයයි.
2389. මින් සිව්වන කපෙහි ජනාධිපතිවූ, මහත් බල ඇති මහා රෝහිත නම් වූ එක් සක්විති රජෙක් වීමි.
2390. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් විරතනීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ද්වෙරතනියත්ථෙරස්සාපදානං තතියං.
224. ආරක්ඛදායක ථේරාපදානය
2391. මා විසින් සිදුහත් බුදුරජුන්හට වේදිකාවක් කරණ ලදී. මා විසින් මහර්ෂීවූ බුදුරජුන්හට ආරක්ෂාවක්ද දෙන ලදී.
2392. එම කර්ම විශේෂය කරණකොට ගෙන භයජනක අරමුණක් නොදනිමි. කොහි උපන්නේ නමුදු මට ත්රාසයක් විද්යාමාන නැත.
2393. මම සිව් අනූවන කපෙහි යම් වේදිකාවක් කරවූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වේදිකා දනෙහි මේ විපාකයයි.
2394. මින් සවනු කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති අපස්සෙන නම් සක්විති රජෙක් වීමි.
2395. සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආරක්ඛදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ආරක්ඛදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.