212. පානධිදායක (පාවහන් දුන්) තෙරුන්ගේ අපදානය
2324. වනයෙහි වසන, බොහෝ කල් තපස් රැකි, වයසින් මුහුකුරා ගිය, වැඩූ සිත් ඇති ඍෂිවරයෙකුට මම පාවහන් දුනිමි.
2325. දෙපාවුන්ට අධිපති වූ, ලෝකජ්‍යේෂ්ඨ වූ, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, ඒ කර්මයෙන් මම සියලු යානාවන් අනුභව කරමි. මේ පෙර පුණ්‍ය කර්මයේ ඵලයයි.
2326. මෙයින් අනූහතර වන කපෙහි යම් කර්මයක් කළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ පාවහන් දීමේ ඵලයයි.
2327. මෙයින් හැත්තෑ හත වන කපෙහි සුයාන නම් වූ මහත් බල ඇති සක්විති රජවරු අට දෙනෙක් වූහ.
2328. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙසේ ආයුෂ්මත් පානධිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පානධිදායක තෙරුන්ගේ අපදානය දෙවැනියි.
213. සච්චසඤ්ඤක තෙරුන්ගේ අපදානය
2329. එසමයෙහි භික්ෂු සංඝයා පිරිවරා සිටි වෙස්සභූ බුදුරජාණන් වහන්සේ මහජනයාගේ කෙලෙස් ගිනි නිවමින් ආර්ය සත්‍යයන් දේශනා කරති.
2330. එකල මම අතිශයින් දුකට පත් වූයෙක් වීමි. (බුදුරජාණන් වහන්සේ දහම් දෙසන) ඒ රැස්වීමට ගියෙමි. එහි හුන් මම ශාස්තෲන් වහන්සේගේ ධර්මය ඇසුවෙමි.
2331. උන්වහන්සේගේ ධර්මය අසා මම දෙව්ලොවට ගියෙමි. පෙර මම එහි දෙවියන් අතර කල්ප තිහක් විසුවෙමි.
2332. මෙයින් තිස් එක් වන කපෙහි යම් සඤ්ඤාවක් (ආර්ය සත්‍යය පිළිබඳ හැඟීමක්) ලැබුවෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ සත්‍ය සංඥාවේ ඵලයයි.
2333. මෙයින් විසිහය වන කපෙහි ජනාධිපති වූ, මහත් බල ඇති එකඵුසිත නම් එක් සක්විති රජෙක් වීමි.
2334. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙසේ ආයුෂ්මත් සච්චසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සච්චසඤ්ඤක තෙරුන්ගේ අපදානය තෙවැනියි.
214. එකසඤ්ඤක තෙරුන්ගේ අපදානය
2335. ගසක මුදුනෙහි එල්ලී තිබූ ශාස්තෲන් වහන්සේගේ පාංශුකූල සිවුර දැක, ඇඳිලි බැඳ ඒ පාංශුකූලයට වැන්දෙමි.
2336. මෙයින් තිස් එක් වන කපෙහි යම් සංඥාවක් ලැබුවෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ බුද්ධ පූජාවේ ඵලයයි.
2337. මෙයින් විසිපස් වන කපෙහි ජනාධිපති වූ, මහත් බල ඇති අමිතාභ නම් එක් සක්විති රජෙක් වීමි.
2338. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙසේ ආයුෂ්මත් එකසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකසඤ්ඤක තෙරුන්ගේ අපදානය සිව්වැනියි.