208. කොරණ්ඩපුප්ඵිය ථේරාපදානය
2304. “සක් ලකුණින් බබළණ තබන ලද ශ්‍රීපාද සටහන් දැක (මම ඒ) විපස්සී බුදුරජුන්ගේ පියවර සටහන් අනුව යන්නේ
2305. “පිපුණු කොරණ්ඩ වෘක්‍ෂයක් දැක මුල සිටම ඇති ඒ සියළු මල් මා විසින් (බුදුරජුන්හට) පුදන ලදී. සතුටුවූයේ සතුටු සිතින්ම උතුම් පා වැන්දෙමි.
2306. “මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පියවර සටහන් පිදීමෙහි මේ විපාකයයි.
2307. “සත් පණස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති “වීතමල” නම් එක් සක්විති රජෙක් වීමි.
2308. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කොරණ්ඩපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කොරණ්ඩපුප්ඵියත්ථෙරස්සාපදානං අට්ඨමං.
209. ආධාරදායක ථේරාපදානය
2309. “ලෝකබන්ධුවූ සිඛී බුදුරජුන්හට මා විසින් ආධාරකයක් (පාත්‍රදාරයක්) පුදන ලදී. මම (ඒ හේතුවෙන්) ධනය සහිත මේ පොළොවම දරමි.
2310. “මාගේ සියළු කෙළෙස් දවන ලදී. සියළු භවයෝ වනසන ලදහ. සම්බුදු සසුනෙහි අන්තිම ශරීරයද දරමි.
2311. “මින් සත්විසිවන කපෙහි මහත් බල ඇති “සමන්තචරණ” නම් සිව් සක්විති රජකෙනෙක් වූහ.
2312. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආධාරදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ආධාරදායකත්ථෙරස්සාපදානං නවමං.
210. වාතාතපනිවාරිය ථේරාපදානය
2313. “දෙවියනට දෙවිවූ, තාදී ගුණ ඇති තිස්ස බුදුරජුන්හට පැහැදුනු සිතින් එක් කුඩයක් මා විසින් පුදන ලදී.
2314. “(ඒ හේතුවෙන්) මාගේ පව් වැලැක්කේ විය. (තමා වෙත කුශලයන්ගේ පැමිණීම විය. අහසෙහි කුඩ දරත්. පූර්‍ව ඡත්‍ර දානමය) කර්‍මයාගේ මේ විපාකයයි.
2315. “මා විසින් සියළු භවයෝ නසන ලදහ. (මෙය) මාගේ අන්තිම භවයයි. සම්බුදු සසුනෙහි අන්තිම ශරීරයද දරමි.
2316. “මින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් ඡත්‍ර දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඡත්‍ර දානයාගේ මේ විපාකයයි.
2317. “මින් දෙසැත්තෑවන කපෙහි ජනාධිපතිවූ මහානිදාන නම් අට සක්විති රජකෙනෙක් වූහ.
2318. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වාතාතපනිවාරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පාපනිවාරියත්ථෙරස්සාපදානං දසමං.
උද්දානං:
කණිකාර, මිනෙල, කිඞ්කිණි, තරණ, නිග්ගුණ්ඩි, උදකදායක, සලල, කුරණ්ඩක, ආධාරක සහ වාතාතපවාරිය යන මොහු අටසාළිසක් ගාථාවෝය.
කණිකාරපුප්ඵිය වර්‍ගය නිමි.