209. ආධාරදායක ථේරාපදානය
2309. “ලෝකබන්ධුවූ සිඛී බුදුරජුන්හට මා විසින් ආධාරකයක් (පාත්රදාරයක්) පුදන ලදී. මම (ඒ හේතුවෙන්) ධනය සහිත මේ පොළොවම දරමි.
2310. “මාගේ සියළු කෙළෙස් දවන ලදී. සියළු භවයෝ වනසන ලදහ. සම්බුදු සසුනෙහි අන්තිම ශරීරයද දරමි.
2311. “මින් සත්විසිවන කපෙහි මහත් බල ඇති “සමන්තචරණ” නම් සිව් සක්විති රජකෙනෙක් වූහ.
2312. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආධාරදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ආධාරදායකත්ථෙරස්සාපදානං නවමං.
210. වාතාතපනිවාරිය ථේරාපදානය
2313. “දෙවියනට දෙවිවූ, තාදී ගුණ ඇති තිස්ස බුදුරජුන්හට පැහැදුනු සිතින් එක් කුඩයක් මා විසින් පුදන ලදී.
2314. “(ඒ හේතුවෙන්) මාගේ පව් වැලැක්කේ විය. (තමා වෙත කුශලයන්ගේ පැමිණීම විය. අහසෙහි කුඩ දරත්. පූර්ව ඡත්ර දානමය) කර්මයාගේ මේ විපාකයයි.
2315. “මා විසින් සියළු භවයෝ නසන ලදහ. (මෙය) මාගේ අන්තිම භවයයි. සම්බුදු සසුනෙහි අන්තිම ශරීරයද දරමි.
2316. “මින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් ඡත්ර දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඡත්ර දානයාගේ මේ විපාකයයි.
2317. “මින් දෙසැත්තෑවන කපෙහි ජනාධිපතිවූ මහානිදාන නම් අට සක්විති රජකෙනෙක් වූහ.
2318. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වාතාතපනිවාරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පාපනිවාරියත්ථෙරස්සාපදානං දසමං.
උද්දානං:
කණිකාර, මිනෙල, කිඞ්කිණි, තරණ, නිග්ගුණ්ඩි, උදකදායක, සලල, කුරණ්ඩක, ආධාරක සහ වාතාතපවාරිය යන මොහු අටසාළිසක් ගාථාවෝය.
කණිකාරපුප්ඵිය වර්ගය නිමි.
22. ඇතුන් පිළිබඳ වර්ගය
211. හත්ථිදායක (ඇතෙක් දුන්) තෙරුන්ගේ අපදානය
2319. තාදී ගුණ ඇති, දෙපාවුන්ට අධිපති වූ සිද්ධාර්ථ භාග්යවතුන් වහන්සේට මම ඊෂා දළ ඇති උරූළ්හ (නැගීමට සුදුසු) උතුම් ඇතෙකු දිනිමි.
2320. සියලු ලෝකයාට හිත කැමති වූ (බුදුරදුන්ට) දුන් අග්ර දානය හේතුවෙන්, මම අනුත්තර වූ ශාන්ත පදය වන උත්තම අර්ථය අනුභව කරමි.
2321. මම මෙයින් අනූ හතර වන කපෙහි යම් ඇතෙකු දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ ඇතුන් දීමේ ඵලයයි.
2322. හැත්තෑ අට වන කපෙහි ‘සමන්තපාසාදික’ නම් මහත් බල ඇති සක්විති රජවරු සොළොස් දෙනෙක් වූහ.
2323. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් හත්ථිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
හත්ථිදායක තෙරුන්ගේ අපදානය පළමුවැනියි.
212. පානධිදායක (පාවහන් දුන්) තෙරුන්ගේ අපදානය
2324. වනයෙහි වසන, බොහෝ කල් තපස් රැකීමෙහි යෙදුනු, වැඩුණු ගුණ ඇති, වැඩූ සිත් ඇති ඍෂිවරයෙකුට මම පාවහන් දුනිමි.
2325. දෙපාවුන්ට අධිපති වූ, ලෝකජ්යේෂ්ඨ වූ, නරශ්රේෂ්ඨයන් වහන්ස, ඒ කර්මයෙන් මම සියලු යානාවන් අනුභව කරමි. මේ පෙර පුණ්ය කර්මයේ ඵලයයි.
2326. මෙයින් අනූහතර වන කපෙහි යම් කර්මයක් කළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ පාවහන් දීමේ ඵලයයි.
2327. මෙයින් හැත්තෑ හත වන කපෙහි ‘සුයාන’ නම් වූ මහත් බල ඇති සක්විති රජවරු අට දෙනෙක් වූහ.
2328. සිව් පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් පානධිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පානධිදායක තෙරුන්ගේ අපදානය දෙවැනියි.