192. තිණසන්ථරදායක ථේරාපදානය
2219. වනවැසි තවුසෙක් තෙම බුදුරජාණන් වහන්සේට තණ කපයි. ප්‍රදක්‍ෂිණාවර්‍තවූ (දකුණට කැරකුණු) ඒ සියල්ලෝ බිම (පොළොවෙහි) වැටුනාහුය.
2220. මම ඒ තෘණ ගෙණ බිම ඇතිරීමි. එකල්හි මම තල්පත් තුනක්ද ගෙන
2221. තෘණයෙන් සෙවෙණියක් කොට සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන්හට දුනිමි. (එය) දෙවි මිනිසුනට ශාස්තෘවූ උන්වහන්සේ සතියක් දැරුවාහුය.
2222. මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් තණ (සෙවෙණියක්) දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. තණ (සෙවෙනි) දනෙහි විපාකයයි.
2223. මින් පන්සැටවන කපෙහි සත්රුවනින් යුත් මහත් ඵල ඇති මහධන නම් සක්විති රජකෙනෙක් වූහ.
2224. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණසන්ථදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තිණසන්ථරදායකත්ථෙරස්ස අපදානං දුතියං.
193. ඛණ්ඩඵුල්ලිය ථේරාපදානය
2225. මහවනයෙහි ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ සතූපයක් විය. එකල්හි ඇතුන් විසින් බඳින ලද එහි වැඩීගිය ගස් ඇත්තේද විය.
2226. තිලෝගුරු එම බුදුරජාණන් වහන්සේගේ ගුණයෙන් සතුටුවූ මම විසම තැන් සමකොට සුණු පිඩු දුනිමි. (සුණු පිරියම් කෙළෙමි.)
2227. මින් දෙඅනූවන කපෙහි වූ එකල්හි යම් පිළිසකර කමක් කෙළෙම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. සුණු පිඩු දීමෙහි මේ විපාකයයි.
2228. සත් සැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති “ජිනසෙන” නම් සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
2229. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛණ්ඩඵුල්ලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ඛණ්ඩඵුල්ලියත්ථෙරස්ස අපදානං තතියං.
194. අසොකපූජක ථේරාපදානය
2230. එකල්හි රම්‍යවූ තීවරා පුරයෙහි රාජොද්‍යානයක් විය. මම එහි රජුගේ සහචරවූ උයන්පල්ලෙක් වීමි.
2231. සියල්ල තෙමේම අවබෝධ කළාවූ පදුම නම් බුදුරජෙක් විය. පියුම සෙවනැල්ල නොහැර සිටියාවූ ඒ මුනීන්‍ද්‍රයන් වහන්සේ දුටිමි.
2232. පිපුණු දැකුම්කලු අසෝක ගසක් දැක (ඉන්) මල් පොකුරක් පදුමුත්තර නම්වූ ඒ බුදුරජාණන් වහන්සේට පිදීමි.
2233. මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
2234. මින් සිව් සැත්තෑවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති අරුණඤ්ජන නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
2235. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අසොකපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අසොකපූජකත්ථෙරස්ස අපදානං චතුත්ථං.