15. පිළින්දවච්ඡ ථේරාපදානය
“ලෝකනාථවූ, අග්‍ර පුද්ගලවූ, සුමේධ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි පහන් සිත් ඇති, සොම්නස්වූ මම ස්ථූප පූජාවක් කෙළෙමි.
“යම් ෂඩභිඥාවූ, මහා ඎද්‍ධි ඇති, ක්‍ෂීණාශ්‍රව කෙනෙක් එහි (වූවාහුද) මම උන්වහන්සේලා එහි රැස්කරවා සංඝදානයක් කෙළෙමි. (දුනිමි.)
“එකල්හි සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකයෙක් විය. නම්න් සුමේධ නම්වූ හෙතෙම එකල්හි අනුමෝදනා කෙළේය.
“එම (ථූප පූජා කිරීම් වශයෙන් ඇතිවූ) චිත්ත ප්‍රසාදය කරණකොටගෙන මම දිව්‍ය විමානයක උපනිමි. අසුහය දහසක් දෙවඟනෝ මාගේ (සිත එහි) ඇලවූහ.
“එම අපසරාවෝ සියලු කාමයන් කරණකොටගෙන මා අනුවම පවතිත්. අනික් දෙවියන් (සම්පත්තියෙන්) ඉක්මවීමි. මේ (ස්ථූප පූජා) පුණ්‍යකර්‍මයාගේ විපාකයයි.
“මම එකල්හි පස්විසිවන කපෙහි පිරිසිදු බොජුන් ඇති වරුණ නම් සක්විති රජෙක් වීමි.
“ඒ මනුෂ්‍යයෝ බිජුවට නොවපුරත්. නගුල් (සී සෑම් වශයෙන්) නොපමුණුවත්. අරණ්‍යයෙහි අකෘෂ්ට භූමි භාගයන්හි තෙමේම හටගත් හැල් අනුභව කෙරෙත්.
“මම එහි රාජ්‍යයකොට, නැවත දිව්‍යාත්මභාවයට පැමිණියෙමි. එකල්හිද මට මෙබඳුමවූ භෝග සම්පත්ති තොමෝ උපන්නීය.
“මිතුරුවූ හෝ, පසමිතුරුවූ හෝ, සියලු ප්‍රාණීහු මට හිංසා නොකෙරෙත්. සියලු දෙනාම ප්‍රිය වෙමි. මෙය (ස්ථූප පූජා) පුණ්‍ය කර්‍මයාගේ විපාකයයි.
“මින් එක් දහස් තිස්වන කල්පයෙහිවූ එකල මම යම් දනක් දුනිම්ද, (ඉන්) දුගතියක් නොදනිමි. (ස්ථූපයෙහි) සුගන්‍ධාලේපයාගේ (සුවඳ ගැල්වීමෙහි) මේ ඵලයයි.
“මේ භද්‍ර කල්පයෙහි මම ජනාධිපතිවූ, මහානුභාව ඇති, මහත්බල ඇති, එක් සක්විති රජෙක් වීමි.
“ඒ මම බොහෝ ජනයා පන්සිල්හි පිහිටුවා, සුගතියටම පමුණුවා, දෙවියනට ප්‍රියවීමි.
මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිළින්දවච්ඡ තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පිලින්දවච්ඡත්ථෙරස්සාපදානං පඤ්චමං.
16. රාහුල ථේරාපදානය
68. “මම ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති, පදුමුත්තර බුදුරජාණන් වහන්සේට සත්බුමු පහයක කැඩපතක් මෙන් පැහැපත් ඇතිරියක් අතුළෙමි.
69. “දෙපා ඇතියනට අග්‍රවූ, මහා මුනිවූ, ශ්‍රේෂඨයන් වහන්සේ රහතුන් දහසක් විසින් පිරිවරණ ලදුයේ, ගඳකිළියට එළඹි සේක.
70. “දෙවියන්ට දෙවිවූ, නර ශ්‍රේෂඨවූ, ශාස්තෘතෙම ගඳකිළිය බබුළුවන්නේ, බික් සඟන මැද සිටියේ, මෙම ගාථාවන් වදාළ සේක.
71. “යමෙකු විසින් මේ සෙනසුන බබුළුවන ලදද, කැඩපතක් මෙන් පැහැපත් ඇතිරියක් මැනවින් අතුරණ ලදද, මම හේ (කවරෙක්දැයි) ප්‍රකාශ කරන්නෙමි. (එසේ) ප්‍රකාශ කරන්නාවූ මාගේ වචනය අසව්.
72. “ස්වර්‍ණමයවූද, රජතමයවූද, යලි වෙරළුමිණිමුවාවූද, යම්කිසි සිතට ප්‍රිය ආදාසයෝ වෙත් නම් (ඒවා) පහළ වන්නාහුය.
73. “සූසැට වරක් ශක්‍රව දිව්‍ය රාජ්‍යය කරන්නේය. අනතුරුව දහස් වරක් සක්විති රජ වන්නේය.
74. “එක්විසිවන කපෙහි සිව්මහ සයුර හා සිව්මහ දිවයින කෙළවරකොට ඇති පෘථිවියට අධිපතිවූයේ, සතුරු රජුන් ජයගන්නා සුළුවූ, විමල නම් සක්විති රජෙක් වන්නේය.
75. “ගඩොලුවලින් නිර්මිත කරණ ලද නගරය රේනුවතී නම් වේ. (එය) දිගින් තුන්සියයක් (යොදුන්) වේ. හතරැස් හැඩයෙන් යුක්ත වෙයි.
76. “(එහි) උතුම්වූ කුලුගෙවලින් යුත්, සත්රුවනින් අලංකාර කරණ ලද, විශ්වකර්මයා විසින් නිර්මිත කරණ ලද, සුදර්‍ශන නම් ප්‍රාසාදයක් විය.
77. “(එය) දශවිධ ශබ්දයෙන් වෙන්නොවූ, විද්‍යාධරයන්ගෙන් ගැවසීගත්, දෙවියන්ගේ සුදර්‍ශන නගරය මෙන් වන්නේය.
78. “එම ප්‍රාසාදයාගේ ප්‍රභාව හිරු උදාවන කල්හි විහිදේ. එය නිරතුරුවම හාත්පස අටයොදුනක් (තන්හි) බබළන්නේය.
79. “කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේය.
80. “හෙතෙම කුශල මූලයන් මෙහෙයන ලදුයේ, තුෂිත පුරයෙන් චුතව, ගෞතමයන් වහන්සේගේ ඒ ඖරස පුත්‍රයා වන්නේය.
81. “හෙතෙම ඉදින් ගිහිගෙයි වසන්නේ නම් සක්විති රජ වන්නේයි. තාදී ගුණ ඇතියෙක් ගිහිගෙයි ඇලීමට පැමිණෙයි යන මේ කරුණ සිදුනොවන්නකි. (හෙවත් සිදුවීමට කරුණ නැත්තකි.)
82. “සුශික්‍ෂිතවූ (හෙතෙම) ගිහිගෙන් නික්ම නම්න් ඒ රාහුල නම්වූ රහත් තෙම වන්නේයයි වදාළ සේක.